අවසන් වරට යාවත්කාලීන කලේ 2021/01/09

2019 ජූලි මස 02 වන දින ලක් වසම් ලේඛකාධිකාරයේ හිතවතී ව්‍යාපෘතිය සහ ෆේස්බුක් ආයතනය ඔවුන්ගේ සහයෝගීතාවය නිල වශයෙන් නිවේදනය කලහ. මෙම බැඳීම තුළින් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ ලෙස භාවිත වන සමාජ මාධ්‍ය ජාලය වන ෆේස්බුක් හි විශ්වාසනීය හවුල්කරුවෙකු (Trusted Partner) බවට ‘හිතවතී’ පත්වේ.

මෙම උත්සවය කොළඹ 5 ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතන (ICTA) ශ්‍රවණාගාරයේදී පැවැත්විණ. අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය, ලක් වසම් ලේඛකාධිකාරයේ ප්‍රධාන විධායක නිලධාරී මහාචාර්ය ගිහාන් ඩයස් මහතා, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ සභාපති මහාචාර්ය රොහාන් සමරජිව මහතා, ඉන්දියාව, දකුණු හා මධ්‍යම ආසියාව සඳහා ෆේස්බුක් ආයතනයේ ප්‍රතිපත්ති වැඩසටහන් ප්‍රධානී ෂෙලි තක්රාල් මහත්මිය, ශ්‍රී ලංකාව සඳහා ෆේස්බුක් ආයතනයේ පොදු ප්‍රතිපත්ති කළමණාකරු සෙනුර අබේවර්ධන මහතා, ශ්‍රී ලංකාව සඳහා ෆේස්බුක් ආයතනයේ ප්‍රතිපත්ති වැඩසටහන් කළමණාකරු යසස් විශුද්ධි අබේවික්‍රම මහතා සහ විවිධ ක්ෂේත්‍රවල කීර්තිමත් අමුත්තන් රැසක් මේ සඳහා සහභාගී විය.

අන්තර්ජාලය භාවිතා කරන ඔබ, විශේෂයෙන් කාන්තාවන්, තරුණියන්, යොවුන් වියේ දරු දැරියන් හා බාලවයස්කරුවන් වෙනුවෙන් හිතවතී ඉදිරිපත් වේ. අන්තර්ජාලය සහ එහි සේවාවන් භාවිතා කිරීමේදී ඔබට සිදුවන අපහසුතාවයන්, වැරදි යොමුකිරීම්, වැරදි සහගත සහ අනවශ්‍ය බලපෑම් වැනි සිදුවීම් පිළිබඳ කතාකරන්න සහ දැනුවත් වෙන්න ‘හිතවතී’ සහය වන අතර ඒවැනි අයථා ක්‍රියා සහ හැසිරීම් සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියා මාර්ගයන් පිළිබඳව අන්තර්ජාලය භාවිතා කරන ඔබට මග පෙන්වයි.

හිතවතී සේවාදායකයින් අතර ෆේස්බුක් භාවිතා කරන්නන් සඳහා මෙම සහයෝගිතාව බෙහෙවින් වැදගත් වන අතර එමඟින් ඔවුන් සහ ෆේස්බුක් අතර සන්නිවේදනය සඳහා විශේෂයෙන්ම සෘජුවම වාර්තා කිරීමේ ක්‍රියාවලියට පහසුකම් සපයයි. තවද, ඒ හරහා සමාජ මාධ්‍ය බුද්ධිමත්ව හා ධනාත්මකව භාවිතා කර ‍ප්‍රතිලාභ අත් කරගන්නේ කෙසේද යන්න පිළිබඳව ශ්‍රී ලංකා සමාජය දැනුවත් කෙරේ.