අවසන් වරට යාවත්කාලීන කලේ 2026/03/20

කාන්තා දිනයෙන් කියන්නෙම ඇයගේ ශක්තිය ගැන.
අත් නොහරින ධෛර්යය ගැන.
ඇය කොයිතරම් දුරක් ඇවිල්ලද වගේම තව ඇයට කොච්චර දුර යන්න පුළුවන්ද කියලා දැනෙන්න සමරන දවසක්.
අපි මේ විදියට ගැහැණියකගේ ශක්තිමත් බව සමරනකොට, වංචාකරුවන්ට ඒක හොඳ අවස්ථාවක් වෙන්න පුළුවන්. කාන්තා දිනය වගේ වටිනා දවස් ගැන හැමෝම හරිම උවමනාවෙන් කතාවෙනවා කියලා එයාලා දන්නවා. ඉතින් එහෙම දවස්වලට වෙනස් වෙනස් කූට උපක්‍රම වලින් ඔවුන් ඔයා ළඟට එනවා. ඒ විදියට උත්සව දීමනා (offers), සංවේදී කෙටි පණිවිඩ (මැසේජ්) වගේම දැවැන්ත අවස්ථා (exclusive deals) පෙන්නලා ඔයාගේ හිත දිනාගන්න උත්සාහ කරයි.
මේ 2026 කාන්තා දිනයේදී ඔයා දැනගත යුතුම වංචා 5ක් මෙන්න.
- ව්‍යාජ විදේශ රැකියා අවස්ථා
ඔයාට සුවිශේෂී විදේශ රැකියා අවස්ථා තියෙනවා කියලා මැසේජ් එන්න පුළුවන්. ඒ අතරෙදී ඔවුන් වීසා හෝ විවිධ ලේඛන හදන්න සල්ලි ඉල්ලනවා. හැබැයි සල්ලි ගෙව්වට පස්සේ ඒ කිසිකෙනෙක් හොයාගන්නවත් නෑ. ඒ කිව්ව විදියේ කිසිම රැකියාවකුත් නෑ. ඒ වගේම දීපු සල්ලිත් නෑ. - ව්‍යාජ ණය හා සල්ලි ලබාදෙන ඇප්
සමහර ඇප් “ක්ෂණික ලොන්” හෝ “කාන්තා දින විශේෂ ණය සේවාව” වගේ දේවල් කියලා ඔයාගේ අවධානය ගන්නවා. ඒ ණය ගන්න ගියාම ඒ ඇප් වලින් ඔයාගේ විස්තර හෝ යම් සේවා ගාස්තුවක් ඉල්ලනවා. හැබැයි පස්සේ ඔයා ඒ ඇප් එකෙන් අයින් වෙනකොට එයාලා ඔයාගේ විස්තර අරගෙන ඒවා වැරදි විදියට හෝ වංචාවලට පාවිච්චි කරනවා. - ව්‍යාජ පිංකම් හා දායකත්ව වංචා
මේ කාලෙට විවිධ කාන්තාවන්ගේ ප්‍රශ්න ගැන කියලා එයාලට උදව් කරන්න සල්ලි එකතු කරන පෝස්ට් ඔයත් දකින්න ඇති. සමහර ඒවා බොරු වෙන්න පුළුවන්. එයාලා දුක හිතෙන දේවල් කියලා ඔයාගේ අනුකම්පාව දිනාගෙන සල්ලි එකතු කරනවා. ඒ ගන්න සල්ලි එයාලා ළඟම තියාගන්නවා. - සමාජ මාධ්‍ය ව්‍යාපාර හරහා ගිණුම්වල අයිතිය සොරකම් කිරීම
“අපේ කාන්තා දින සමාජ මාධ්‍ය ව්‍යාපාරයට එකතු වෙන්න” වගේ දේවල් කියලා විවිධ මැසේජ් එන්න පුළුවන්. ඒ එක්කම ඔවුන් ඔයාට ලින්ක් එකක් එවනවා. ඒ ලින්ක් ක්ලික් කරලා ඔයාගේ ගිණුමට ලොග් වෙන්න තොරතුරු (Login details) ඇතුළත් කරාට පස්සේ, ඔයාගේ එකවුන්ට් එකේ පාලනය සම්පූර්ණයෙන්ම ඔවුන් අතට යන්න පුළුවන්. - ආදර සම්බන්ධතා හා ආයෝජන (Pig butchering) විදියේ වංචා
ඔයා සමාජ මාධ්‍යවල සැරිසරනකොට එහිදී මුණගැහිලා හිතවත් වුණ කෙනෙක් “කාන්තා දින විශේෂ ආයෝජන අවස්ථා” තියෙනවා කියලා මුදල් ආයෝජනය කරන්න ඔයාව පොළඹවන්න පුළුවන්. ඒ වගේම ඔවුන් බොරු සාක්ෂි පෙන්නලා ඔයාගේ මුදල් ගන්නවා. ඒ මුදල් ගත්තට පස්සේ ඒ අය අතුරුදහන් වෙනවා. කිසිදු මුදලක් ඔයාට ලැබෙන්නේ නැති විදියට.
මේ කාන්තා දිනයේදී 💜
✔️ ඇත්ත කියලා තහවුරු කරගත්තේ නැති කිසිම රැකියාවකට හෝ ණය වලට සල්ලි ගෙවන්න එපා.
✔️ විශ්වාසවන්ත ඇප් හෝ බැංකු වලින් හැර ණය ලබාගැනීමට හෝ මුදල් ආයෝජනය කිරීමට උත්සහ කරන්න එපා.
✔️ මුදල් වලින් විවිධ පුණ්‍ය කටයුතු (charity) වලට දායක වීමට පෙර ඒවා සාධාරණව සිදු වෙනවද කියලා තහවුරු කරගන්න.
✔️ නොදන්නා සමාජ මාධ්‍ය මැසේජ් වල තියෙන ලින්ක් ක්ලික් කරන්න එපා.
✔️ ඉතා මිත්‍රශීලී විදිහට හැසිරුණත් පළවෙනි පාරට සමාජ මාධ්‍ය හරහා මුණගැහුණු පුද්ගලයින්ට කවදාවත් සල්ලි දාන්න එපා.
-
ඇයගේ දවසේ.. ඇයගේ විදියට.. ඇයගේ ආරක්ෂාව!!!!!!!!!
මූලාශ්‍ර:
https://hirunews.lk
https://timesofindia.indiatimes.com
https://charitylawyerblog.com
https://www.newswire.lk
