අවසන් වරට යාවත්කාලීන කලේ 2026/03/20

මෙහි එන නම් ගම් සියල්ල මනඃකල්පිතයි.

මරියා පරිගණක විද්‍යා උපාධිධාරිණියක්. නමුත් මේ කාලයේ රැකියාවක් හොයන එක නම් එයාට මානසික පීඩනයක් වෙලා තිබුණේ. ලින්ක්ඩ්ඉන් (LinkedIn) එකේ එයාගේ යාළුවෝ පෝස්ට් කරන අලුත් ‌ජොබ් වල විස්තර වගේම ජයග්‍රහණ දකිද්දී මරියාට තවත් දුක හිතුණා.

එක හැන්දෑවක, ප්‍රසිද්ධ තාක්ෂණික සමාගමක බඳවා ගැනීමේ නිළධාරියෙක් විදියට පුද්ගලයෙක්ගෙන් මැසේජ් එකක් ආවා. ඒ පුද්ගලයා මරියා කරලා තිබුණ ව්‍යාපෘති ගැන හරියට වර්ණනා කළා. ඒ කතාවෙන් පස්සේ ඔහු ඇයට දවස් දෙකක් ඇතුළත ඉන්ටර්වීව් එකකට සම්බන්ධ වෙන්න කිව්වා. එහෙම කිව්වාම ඇයට සතුට වගේම බලාපොරොත්තුවකුත් ඇති වුණා.

ඉන්ටර්වීව් එක අතරතුරේදී, එම පුද්ගලයා ඇයට කෝඩිං ටෙස්ට් එකක් කරන්න කියලා එනිඩෙස්ක් (Anydesk) ඉන්ස්ටෝල් කරන්න කිව්වා. පොඩ්ඩක් විතර සැකයක් හිතුනත් මරියා ඒක ඉන්ස්ටෝල් කළා. ඉන්ටර්වීව් එක අතරතුරේදී ඔහු ඇයට ලින්ක්ඩ්ඉන් එකවුන්ට් එකට ලොග් වෙන්න කිව්වා. ඒ වෙද්දී ඇයගේ ස්ක්‍රීන් එක (පරිගණකයේ තිරය) ඔවුන්ට පේන්න ශෙයා කරලනේ තිබුණේ. ඇය ලොග් වෙන්න විස්තර ටයිප් කරනකොට ඔවුන් ඒවා බලාගෙන හිටියා. නමුත් ඇයට රැකියාව නැති වෙයි කියලා තිබ්බ බය නිසා එයා ඒ විදිහටම කළා.

ටික දවසකට පස්සේ, මරියාට ඊමේල් එකක් ආවා.

“ඔබගේ ලින්ක්ඩ්ඉන් එකවුන්ට් එකේ පාස්වර්ඩ් වෙනස් කළා.”

ඒ වෙද්දි, ඇයගේ එකවුන්ට් එක හැක් වෙලා තිබුණේ. මරියාට කිසිම දෙයක් කරන්න මතක් වුණේ නෑ.

වුණේ මොකක්ද කියලා හිත හිත ඉද්දී, මරියාට හම්බවුණා හිතවතී‌ ශෙයා කරපු සයිබර් ආරක්ෂාව ගැන තියෙන වීඩියෝවක්. අලුත් බලාපොරොත්තුවක් එක්ක මරියා හිතවතී එක්ක කතාකළා. ඇය මේ කතාව හිතවතී එක්ක බෙදාගත්තා.

හිතවතී කණ්ඩායම මරියාට එයාගේ එකවුන්ට් ආරක්ෂා කරගන්න විදිය වගේම පාස්වර්ඩ් වෙනස් කරන විදියත් පැහැදිලිව කියලා දුන්නා. ඒ විතරක් නෙවෙයි, ද්වී සාධක සත්‍යාපනය (Two-factor authentication) සක්‍රීය කරන්නේ කොහොමද වගේම සැක කටයුතු දේවල් ගැන අවධානයෙන් ඉන්නේ කොහොමද කියලත් කියලා දුන්නා. ඒ වගේම ගණන් ගන්නේ නැතුව නොසලකා හැරපු අනතුරු ඇඟවීම් ගැනත් පැහැදිලි කළා. ඊට අමතරව, හදිසියේ ලබාදෙන රැකියා අවස්ථා හා දුර ඉඳන් සම්බන්ධ වෙන්න පුළුවන් විවිධ ඇප් භාවිතා කිරීම ගැනත් කියලා දුන්නා.

අවසානයේ ඇයට තම ගිණුම්වල පාලනය නැවත ගන්නත්, නැතිවුණ ආත්ම විශ්වාසය ඇති කරගන්නත් පුළුවන් වුණා. පේන තරම් ඔන්ලයින් අවස්ථා හොඳයි කියලා හිතුවට ඒවා අවදානම් වෙන්න පුළුවන් කියලා මරියා තේරුම් ගත්තා. ඒ වගේම ආයෙත් කෙනෙක් මේ වගේ දේවල් වලට අහු නොවෙන්න මරියා එයාගේ කතාව යාළුවොත් එක්කත් බෙදාගත්තා.

මරියාගේ කතාවෙන් අපිට මතක් කරන්නේ, ඔන්ලයින් ලෝකයේ ආරක්ෂිතව ඉන්න නම් හැම මෙහොතකම සැලකිලිමත්ව ඉන්න, ඇත්ත බොරුව හරියටම තෝරගන්න, හා විශ්වාසදායක මගපෙන්වීමක් ලබාගැනීම අනිවාර්යය බවයි.

පූර්ව ආරක්ෂක ඉඟි

ලින්ක්ඩ්ඉන් (LinkedIn) රැකියා වංචා

  • බඳවා ගැනීම් කරන පුද්ගලයින්ව තහවුරු කරගන්න: රැකියා ලබාදෙන ආයතනයේ ඊමේල් ලිපිනය, ලින්ක්ඩ්ඉන් ප්‍රොෆයිල් වගේම වෙබ්අඩවි පරීක්ෂා කරන්න.
  • කවදාවත් පාස්වර්ඩ් ශෙයා කරගන්න එපා: ලින්ක්ඩ්ඉන්, ගූගල් හෝ ඊමේල් වලට ප්‍රවේශ වන තොරතුරු පෞද්ගලිකව තියාගන්න.
  • දුර ඉඳන් ප්‍රවේශ වීමට හැකි මෘදුකාංග (සොෆ්ට්වෙයා) භාවිතයේදී සැලකිලිමත් වන්න: තහවුරු කරගත් අවස්ථා වලට පමණක් සම්බන්ධ වන්න.
  • සැක සහිත දේවල් ගැන අවධානෙන් ඉන්න: ක්ෂණික අවස්ථා (fast-track offers), හදිසි කාලසීමා (urgent deadlines), සහ අසාමාන්‍ය ඉල්ලීම් (unusual requests) පිළිබඳ සැලකිලිමත් වන්න.
  • සැක සහිත ක්‍රියාකාරකම් රිපෝට් කරන්න: ලින්ක්ඩ්ඉන් වලට හා අදාළ ආයතනවලට දැනුම් දෙන්න.