අවසන් වරට යාවත්කාලීන කලේ 2026/07/31

මෙහි එන නම් ගම් සියල්ල මනඃකල්පිතයි.
ශානි නීති ප්‍රවේශ විභාගයට සූදානම් වෙන ගමන් හිටියේ. ඉතින් ඇයගේ හීනය වුණේ සාර්ථක වෘත්තියක නියැළෙන ගමන් රවිඳුත් එක්ක සතුටින් ජීවත් වෙන්න.
දවසක් පාන්දර ඇය පාඩම් කර කර ඉද්දී ජංගම දුරකථනයට මැසේජ් එකක් ආවා.
“සුභ පැතුම්! ඔබ රුපියල් ලක්ෂ 12ක මුදල් ත්‍යාගයක් දිනාගෙන ඇත.”
ඒ මැසේජ් එක බැංකුවෙන් වෙනදට එන මැසේජ් එකක් වගේමයි.
දැක්ක ගමන්ම සතුටු හිතුණත් ඒක තවත් අන්තර්ජාල වංචාවක් වෙන්න පුළුවන් කියලා ශානිට හිතුණා. ඉතින් ශානි ඒක මග ඇරියා.
හැබැයි විනාඩි කීපයකට පස්සේ ඇයගේ ජංගම දුරකථනයට කෝල් එකක් ආවා.
ශානි: “හෙලෝ… කවුද කතා කරන්නේ?”
නොදන්නා අමතන්නා: “හෙලෝ ශානි. මම බැංකුවෙන් කතා කරන්නේ. සුභ පැතුම් ඔයාට! ඔයාගේ ****න් අවසන් වෙන ගිණුම් අංකය අපේ මාසික දිනුම් ඇදීමේ වැඩසටහනට තේරීලා තියෙනවා. ඒ දිනුම් ඇදීමෙන් ඔයා ලක්ෂ 12ක් දිනාගෙන තියෙනවා.”
ශානි: “මගේ එකවුන්ට් එක? ඇත්තමද?”
නොදන්නා අමතන්නා: “ඔව් ශානි. කාලයක් තිස්සේ අපි එක්ක ගණුදෙනු කරන විශ්වාසවන්ත ගණුදෙනුකරුවන්ට විතරයි මේ අවස්ථාව ලැබෙන්නේ. ඔයා මේ එකවුන්ට් එක කාලෙක ඉඳන් පාවිච්චි කරනවා නේද?”
ශානි: “ඔව්… මම මේ එකවුන්ට් එක ඕපන් කළේ මට අවුරුදු 18දී.”
නොදන්නා අමතන්නා: “ඒක තමයි. ඒකෙන්ම කියන්න පුළුවන් ඔයා හොඳ විශ්වාසවන්ත ගණුදෙනුකරුවෙක් කියලා”
කතාකරපු පුද්ගලයා කිව්ව දේවල් නිසා ශානිට තිබ්බ සැකය සම්පූර්ණයෙන්ම නැතිවුණා. ඒ වගේම හිතපු නැති වෙලාවක ලැබුණ මේ තෑග්ග ශානිට හීනයක් හැබෑ වුණා වගෙයි.
නොදන්නා අමතන්නා: “තෑගි මුදල ලබාදෙන්න නම් ඔයාගේ බැංකු ගිණුමේ සම්පුර්ණ විස්තරයක් අපිට ඕනේ.”
මේ ගැන කිසිම සැකයක් තිබුණේ නැති නිසා ශානි එයාගේ බැංකු ගිණුමේ විස්තර ඔක්කොම දුන්නා.
ටික වෙලාවකින් ඒ පුද්ගලයා ශානිට ආයෙත් කතා කළා.
නොදන්නා අමතන්නා: “රුපියල් ලක්ෂ 12ක් කියන්නේ ලොකු ගාණක් නේ. ඒ නිසා එක ගිණුමකට දාන්න බෑ. අපිට තව බැංකු ගිණුම් කීපයක විස්තර ඕනේ. මම දැන් ඔයාගේ එකවුන්ට් එකට ලක්ෂයක් දැම්මා. දැන් ගිහින් බලන්න.”
එකවුන්ට් එකට සල්ලි ඇවිත් කියලා තිබුණ මැසේජ් එක දැක්කාම ශානිට සතුටු හිතුණා.
එයා ඉක්මනට රවිඳුට කෝල් කළා මේ විස්තරේ කියන්න. හැබැයි රවිඳු ෆෝන් එක ආන්ස්වර් කළේ නෑ. ඊට පස්සේ ශානි ඉක්මනටම හෙදියක්ව රෑ වැඩමුරයේ සිටි ඇයගේ සහෝදරියට කෝල් කළා. ඇය කෝල් ආන්ස්වර් කළා.
මේ කතාව අහපු ගමන් ඇයත් විශ්වාස කළා. ඒ වගේම ඇයගේ බැංකු ගිණුමේ විස්තරත් ලබාදුන්නා.
නොදන්නා අමතන්නා: “හරි. දැන් මේ එකවුන්ට් වලින් වැඩේ කරගෙන යන්න පුළුවන්. අනිත් එකවුන්ට් එකටත් ලක්ෂ 3ක් දාලා තියෙන්නේ. මේ විදියටම ඉතුරු සල්ලි ටිකත් සමානව ඔයාගේ එකවුන්ට් වලට වැටෙයි. උදේම ඔයාට සල්ලි ගන්න පුළුවන්”
මේ හැම සතුටක් එක්කම ශානි නින්දට ගියා.
නමුත් පහුවදා උදේ වෙනකොට හැමදේම වෙනස් වෙලා තිබුණා.
ශානිගේ සහෝදරිය එයාගේ වෙඩින් එකේ වැඩ වලට ඉතුරු කරලා තිබුණ ලක්ෂ 3ක මුදල නැති වෙලා තිබුණා. ඒ වගේම කලින් ලැබුණ සල්ලිත් එකවුන්ට් එකේ තිබ්බේ නෑ.
ශානි එයාගේ එකවුන්ට් එක බලද්දි එයාගේ සල්ලිත් තිබුණේ නෑ.
ඉතින් මේ ගැන ශානිගේ සහෝදරියගේ යාළුවෙක්ට ඇය කිව්වා. එයා මීට කලින් හිතවතීගේ ටික්ටොක් වීඩියෝවක් දැකලා තිබුණා. ඉතින් එයා ඉක්මනටම හිතවතී සම්බන්ධ කරගන්න කියලා ඔවුන්ට උපදෙස් දුන්නා.
හිතවතී ඔවුන්ට පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමටත්, තම බැංකුව දැනුවත් කිරීමටත් අවශ්‍ය මඟ පෙන්වීම ලබා දුන්නා.
විමර්ශනය අතරතුර හෙළි වූණේ, මේ වංචාවේ ප්‍රධාන සැලසුම්කරු විදියට වැඩකරලා තියෙන්නේ ශානිගේ පෙම්වතා රවිඳු බවයි.
ඒ වගේම, ඔහු බැංකු ඇප් භාවිත කරලා ඔවුන්ගේ ගිණුම්වලින් මුදල් අරගෙන තියෙන බවත් අනාවරණය වුණා.
ආරක්ෂක උපදෙස්
- බැංකු ගිණුම් තොරතුරු, පාස්වර්ඩ්, OTP කේත හෝ PIN අංක කිසිවෙකු සමඟ බෙදා ගන්න එපා.
- ඔයාට ලැබෙන තෑගි ලබාදීම් පිළිබඳ පණිවිඩ හෝ ඇමතුම් බැංකුවේ නිල මාර්ග ඔස්සේ තහවුරු කරගන්න.
- ඔබේ බැංකු ඇප් වෙනත් අයෙක්ට පාවිච්චි කරන්න දෙන්න එපා.
- හැකි සෑම විටම ද්වි-සාධක සත්‍යාපනය (Two-Factor Authentication) සක්‍රීය කර තබන්න.
- සැකසහිත අන්තර්ජාල සිදුවීම්වලදී හිතවතී සමඟ සම්බන්ධ වී උපදෙස් ලබා ගන්න.
