අවසන් වරට යාවත්කාලීන කලේ 2026/02/20

මෙහි එන නම් ගම් සියල්ල මනඃකල්පිතයි

 

කාඩ්පත් වංචා (card scams) පිටුපස ඉන්න මහ මොළකරුවන් ගැන ඔබ දැනගත යුතු දේවල්

එදත් වෙනදා වගේම තවත් එක් දවසක්.
ආලියාට ඔන්ලයින් සාප්පුවකින් සපත්තු දෙකක් ගන්න ඕන වුණා.
සපත්තුවල මිලත් අඩුයි වගේම බැලූ බැල්මට සාප්පුවත් ඇත්ත එකක් වගේ කියලා ආලියාට හිතුණා.

ආලියා එයාගේ ATM කාඩ් එකේ විස්තර ඇතුළත් කරලා මුදල් ගෙවීම කළා. ඒ එක්කම නොටිෆිකේෂන් එකක් ආවා.
“යම් දෝෂයක් නිසා මුදල් ගෙවීම් කරන මාර්ගය තාවකාලිකව ක්‍රියා විරහිත කර ඇත.”
ආයෙත් තත්පර කීපයකට පස්සේ ඇයට කෙටි පණිවුඩයක් ආවා.
“මුදල් ගෙවීම සම්පූර්ණ කිරීම සදහා ගෙවීම් දොරටුවට ඇතුළු වීමට මේ ලින්ක් එක ක්ලික් කරන්න.”

කිසිම දෙයක් හිතන්නත් කලින්, ආලියා ලින්ක් එක ක්ලික් කරපු ගමන්ම “බීප්” සද්දයක් එක්කම ගෙවීම සම්පූර්ණ වුණා.

පසුව, ඇයට නැවත පණිවුඩයක් ලැබුණා:
“ඔබේ කාඩ්පතෙන් රු.2,200ක ගෙවීමක් සිදු කළා”
හැබැයි ඒ ගෙවීම ඇය සිදු කළ ගෙවීමක් නෙවෙයි.

මේ විදියට දවස තිස්සෙම පොඩි පොඩි ගෙවීම් ඇයගේ ගිණුමෙන් අඩු වුණා.
නමුත්, හැම කෙටි පණිවුඩයකම මුදල් අඩුවෙලා තිබුණේ රුපියල් සියය,දෙසීය වගේ නිසා ඇය ඒවා ඒ තරම් ගණන් ගත්තේ නෑ.

හැබැයි, සතියක් ඉවර වෙද්දී ඇයගේ ගිණුමේ තිබුණ මුදල් හිතුවටත් වඩා අඩුවෙලා තිබුණා.
කාඩ්පත් වංචාවක් නිසා හරිම පුංචි කාලයකදී ඇයගේ මුදල් නැතිවුණා.

අද කාලයේ කාඩ්පත් වංචා ඇයි මේ තරම් බහුලව සිදු වෙන්නේ?

ඩෙබිට් කාඩ්පත් සහ ක්‍රෙඩිට් කාඩ්පත් කියන්නෙම අපේ දෛනික ජීවිතයේ එක කොටසක්.
මිනිසුන් ඒවා භාවිතා කරන්නේ:

  • සාප්පු සවාරි සඳහා
  • ඔන්ලයින් ගෙවීම් සඳහා
  • වෙන්කරවා (Booking) ගැනීමේ සේවා සඳහා
  • බිල්පත් ගෙවීම් සඳහා ආදියට

කාඩ්පත් භාවිතය වැඩි වෙනකොට, කාඩ්පත් ආශ්‍රිතව සිද්ධවෙන වංචා ද වැඩි වෙනවා. මෙවැනි වංචා ලෝකය පුරා සුලභව සිදුවෙනවා වගේම ඒ අතර ශ්‍රී ලංකාවද ඊට දෙවෙනි වෙන්නේ නෑ. බොහෝ අය තවමත් ඩිජිටල් ගෙවීම් වලට අලුත් නිසා එමඟින් වංචාකරුවන්ගේ වැඩ තවත් පහසු වෙනවා.

කාඩ්පත් වංචාවක් කියන්නේ මොකක්ද? (සරලවම)

කවුරුම හරි කෙනෙක් ඔයාගේ අවසරයකින් තොරව ඔයාගේ ඩෙබිට් හෝ ක්‍රෙඩිට් කාඩ්පත් විස්තර භාවිතා කරනවනම් ඒක කාඩ්පත් වංචාවක්.

  • ඔයාගේ කාඩ්පත ඔයා ළඟ තියෙන විටත්
  • ඔයා දැනුවත්ව එය වෙන කෙනෙක්ට නොදුන්නත්
  • ඔයා ඔයාගේ පසුම්බිය නැතිකර ගත්තේ නැතත්

මෙය සිදු විය හැක.
වංචාකරුවන්ට ඕන වෙන්නේ ඔයාගේ කාඩ්පත් විස්තර විතරයි.

කාඩ්පත් වංචා සිදුවෙන විවිධ ක්‍රම

        1. ව්‍යාජ (fake) ඔන්ලයින් සාප්පු

          සමහර වෙබ්සයිට් හෝ සමාජ මාධ්‍ය පිටු ඇත්තම වෙළඳසැල් වගේ පේන්න තියෙනවා. ඔවුන් ඇඳුම්, ඉලෙක්ට්‍රොනික උපකරණ, ටිකට්පත් හෝ සේවා ඉතාමත් ආකර්ෂණීය මිල ගණන් වලට විකුණනවා.

          ඔයා ඔයාගේ කාඩ්පත් විස්තර ඇතුළත් කළාට පස්සේ:

          • වංචාකරුවන් ඔයාගේ විස්තර සේව් (Save) කර ගන්නවා.
          • ඒ එක්කම ඔවුන් එකපාරටම අතුරුදහන් වෙන්න පුළුවන්.
          • ඔවුන් පසුව ඔයාගේ කාඩ්පත භාවිතා කිරීම දිගටම කරගෙන යනවා.
        2. සමාජ මාධ්‍ය විකුණුම් වංචා

          දැන් ගොඩාක් වංචා සිදුවන්නේ ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම්, වට්ස්ඇප් හෝ පණිවුඩ (Messaging) ඇප් හරහා.
          ගෙවීම සිදු කළාට පස්සේ:

          • වෙළඳාම සිදු කළ පුද්ගලයා තවදුරටත් ඔයාට පිළිතුරු දෙන්නේ නෑ.
          • සමහර විට සමාජ මාධ්‍ය පිටුව පවා ඉවත් කරලා තියෙන්න පුළුවන්.
          • ඔයා මුදල් ගෙව්වට ඔයාට කිසිම දෙයක් ලැබෙන්නේ නෑ.
        3. රැවටිලිකාර ෆිෂිං මැසේජ් සහ ව්‍යාජ ඇඟවීම් (Alerts)

          ඔයාට මේ විදියේ පණිවිඩ ලැබෙන්න පුළුවන්:

          • “ඔබේ කාඩ්පත අවහිර කර ඇත”
          • “සැක සහිත ක්‍රියාකාරකම් පිළිබඳව තොරතුරු ලැබී ඇත”
          •  “ඔබේ ගෙවීම හැකි ඉක්මනින් තහවුරු (Verify) කරන්න”

          මෙම පණිවිඩ නිසා ඉක්මනින් බය ඇතිවෙනවා වගේම මිනිසුන් කිසිවක් හොයන්නේ බලන්නේ නැතිව ඉක්මනින්ම ක්‍රියාත්මක වෙනවා.

        4. ව්‍යාජ දුරකථන ඇමතුම්

          සමහර වංචාකරුවන් මේ විදියට රඟපානවා:

          • බැංකු නිලධාරීන් ලෙස
          • පාරිභෝගික සේවා නියෝජිතයන් ලෙස
          • විවිධ බලධාරීන් ලෙස

      ඔවුන් ඉල්ලන්නේ:

          • කාඩ්පත් අංක
          • OTP අංක
          • CVV අංක වගේ දේවල්.

      කිසිම බැංකුවක් කිසි විටෙකත් මේ වගේ විස්තර ඉල්ලන්නේ නෑ.

ඔබ දැනගත යුතු අලුත් සහ වැඩිදියුණු වූ කාඩ්පත් වංචා

අද වනවිට කාඩ්පත් වංචා ඉතාමත් උපක්‍රමශීලිව සිදුවෙනවා වගේම හඳුනා ගැනීම පහසු වෙන්නේ නෑ.

✦︎ කුඩා මෙන්ම නැවත නැවත සිදුවන ගෙවීම්
වංචාකරුවන් බොහෝ විට රු. 100, රු. 300, රු. 500 වැනි කුඩා ප්‍රමාණවලින් ආරම්භ කරනවා. බොහෝ අය කුඩා ගෙවීම් ගැන නොසලකා හරිනවා වගේම එය බැංකුවේ සේවා ගාස්තුවක් කියලා හිතනවා. වංචාකරුවන් අහුවෙන්නේ නැතිව දිගටම කරගෙන යන්නේ මෙන්න මේ හේතුව නිසයි.

✦︎ ව්‍යාජ ගෙවීම් පිටු
සමහර වෙබ් අඩවි ඇත්ත වගේ පෙනුණත් ව්‍යාජ මුදල් ගෙවීම් වෙත පරිශීලකයින්ව (Users) යොමුකරනවා. කාඩ්පත් විස්තර ඇතුළත් කළාට පස්සේ, වංචාකරුවන්ට ඕනෑම වේලාවක ඒවා භාවිතා කරන්න පුළුවන්. මෙවැනි වංචා තත්පර කිහිපයකින් සිදු වෙනවා; ඔයාගේ මුදල් නැතිවෙන්න එක ක්ලික් කිරීමක්, එක පණිවිඩයක්, එක මොහොතක විශ්වාසයක් හොඳටම ප්‍රමාණවත්.

මෙවැනි වංචා බරපතල ගැටලුවක් වෙන්නේ ඇයි?

විශේෂයෙන් ශ්‍රී ලංකාවේ මෙන්ම දකුණු ආසියානු කලාපයේ ඔන්ලයින් ගෙවීම් වේගයෙන් වැඩිවෙනවා. නමුත් දැනුවත්භාවය ඒ හා සමානවම වේගයෙන් වර්ධනය වෙන්නේ නෑ.
මේ නිසා වංචාකරුවන්ට පහසුවෙන්ම:

  • නව පරිශීලකයින් ඉලක්ක කරන්න
  • විශ්වාසයේ වාසිය ලබා ගන්න
  • නිහඬව මුදල් සොරකම් කරන්න හැකිවෙනවා.

ඒ වගේම ඕනෑම කෙනෙක් මේ වංචාවේ ගොදුරක් වෙන්න පුළුවන්. තරුණ හෝ මහලු කෙනෙක්ද, උගත් අයෙක්ද, නූගත් අයෙක්ද කියන දේ අදාළ වෙන්නේ නෑ.

මෙවැනි වංචා වලින් ඔබ ආරක්ෂා වෙන්නේ කොහොමද?

ඔයාට තාක්ෂණික දැනුම අවශ්‍ය වෙන්නේ නෑ. සරල වගේම නිවැරදි පුරුදු වලට ඔයාගේ මුදල් ආරක්ෂා කරන්න පුළුවන්.

✅ වෙබ් අඩවි ප්‍රවේශමෙන්/විමසිල්ලෙන් පරීක්ෂා කරන්න
නොදන්නා හෝ සැක සහිත වෙබ්සයිට් වල කාඩ්පත් විස්තර ඇතුළත් කරන්න එපා.

✅කිසි විටෙකත් OTP හෝ CVV බෙදා ගන්න එපා.
කිසිම බැංකුවක් කිසිදු හේතුවක් මත මේ විස්තර ඉල්ලන්නේ නෑ.

✅ ඔබේ ගනුදෙනු පිළිබඳව පරීක්ෂා කරන්න
ඔයාට බැංකුවෙන් එන පණිවිඩ (මැසේජ්) සහ දැනුම්දීම් නිරතුරුව පරීක්ෂා කරන්න. කුඩා මුදලක් වුණත් ඒ පිළිබඳව දැනුවත් වෙන්න.

✅ ඇඟවීම් (Alerts) සක්‍රීය කරන්න
SMS හෝ බැංකුවෙන් ලැබෙන විවිධ දැනුම්දීම් නිසා ඔයාට සිදුවෙන ගැටලු ගැන දැනගන්න පුළුවන්.

✅ ඉක්මනින් ක්‍රියාත්මක වෙන්න.
ඔයා නොදැන ඔයා නොකරපු ගනුදෙනුවක් සිදු වුණොත්:

✔️ හැකි ඉක්මනින්ම ඔයාගේ බැංකුව අමතන්න
✔️ අවශ්‍ය නම් කාඩ්පත අවහිර (බ්ලොක්) කරන්න

මතක තියාගන්න.
කාඩ්පත් වංචා සිදුකරන්නේ තෝරාගත් පුද්ගලයින් කොටසකට නෙවෙයි, නමුත් ඔයාට පුළුවන් ඔයාගේ ආරක්ෂාව තෝරාගන්න.
දැනුවත් වීම කියන්නේ අපහසු දෙයක් නෙවෙයි, දැනුවත්භාවය කියන්නෙම ඔයාට ලැබෙන බලයක්.
මොහොතක් නවතින්න. හිතන්න. බෙදා (ශෙයා කර) ගන්න.
අද ඔයා කරන පුංචි දෙයක් නිසා හෙට බොහෝ දෙනෙක් ආරක්ෂා වෙන්න පුළුවන්.

මූලාශ්‍ර:

https://www.europeanpaymentscouncil.eu