අවසන් වරට යාවත්කාලීන කලේ 2025/12/18

මෙහි එන නම් ගම් සියල්ල මනඃකල්පිතයි.

පසුගිය දෙසැම්බර් මාසයේදී, අනීතා නත්තලට සූදානම් වෙන ගමන්, තෑගි මිලදී ගනිමින් පවුලේ අයව පුදුම කිරීමට සැලසුම් කරමින් හිටියේ.

ඒ අතරතුරේ එක් හවස් වරුවක, ඇගේ දුරකථනයට නොදන්නා අංකයකින් ඇමතුමක් ආවා. නොදන්නා අංකයක් නිසාවෙන් ඇය එම ඇමතුම නොසලකා හැරිමට උත්සහ කළත් කුතුහලය නිසාම ඇය ඇමතුමට පිළිතුරු දුන්නා.

“හෙලෝ, මේ සිටි පාර්සල් ඩිලිවරි ආයතනයෙන්. ඔයාගේ නමට නත්තල් තෑග්ගක් තියෙනවා, නමුත් ඒක අපෙන් ලබාගන්න නම් ඔයා අපිට රු.500ක කුරියර් ගාස්තුවක් ගෙවන්න වෙනවා” දුරකථනයේ අනෙක් පස සිටි පුද්ගලයා කිව්වා.

ඇය කිසිම පාර්සලයක් ඇණවුම් කරලා තිබුණෙත් නෑ. තෑග්ගක් බලාපොරොත්තුවෙන් හිටියෙත් නෑ. ඒක නිසා තරමක් පුදුමයටත් පත්වුණා.

“මේක ඔයාගේ යාලුවා ඔයාට එවපු විශේෂ නත්තල් තෑග්ගක්. අපි දැන් ඔයාට එවනවා මුදල් ගෙවීමට ලින්ක් එකක්, ඒ හරහා ඔයාට පුළුවන් ගෙවීම් කරන්න. නැතිනම් පාර්සලය නැවත යවන්න වෙනවා” අනෙක් පස සිටි පුද්ගලයා තරමක් ගැඹුරු හඬින් කිව්වා.

යම් තැතිගැන්මකින් හිටියත් රුපියක් 500ක මුදලක් නිසා අනීතා ඉක්මනින්ම ලින්ක් එක විවෘත කර ඇගේ බැංකු කාඩ්පත් විස්තර ඇතුළත් කළා. තත්පර කිහිපයකින්, ටික ටික ඇගේ ගිණුමේ තිබූ මුදල් අතුරුදහන් වන බව ඇය දුටුවා.

මේ පිළිබඳව ක්ෂණිකව ක්‍රියාත්මක වූ අනීතා ඇගේ කාඩ්පත අවහිර කර, ඉක්මනින්ම බැංකුවට කථා කළා. ඇයගේ වේගය නිසාවෙන් වාසනාවකට වගේ ඉදිරි ගනුදෙනු නැවැත්වීමට බැංකුවට කාලය තිබුණා. නමුත් ඒ වන විටත් යම් සුළු මුදලක් ඇයට අහිමි වී තිබුණා.

පසුව මේ සිදුවීම පිළිබඳව ඇය සිතන විට, ඇය නත්තල වෙනුවෙන් ඇති කැමැත්ත, උද්යෝගය පිළිබඳව නිවැරදිව දැන ගත් අයෙක් විසින් මෙවැනි ව්‍යාජ පණිවුඩයක් හරහා ඇයව වංචාවට හසුකරගත් බව ඇයට පැහැදිලිව අවබෝධ වුණා.

අනීතා ඇගේ කතාව හිතවතී සමඟ බෙදාගත්තේ තවත් අයට මෙවැනිම දෙයක් සිදුනොවීමට දැනුවත් විය යුතුයි යන්න අදහසිනි.

උත්සව සමය තුළ සෑමවිටම හොඳ අවධානයෙන් කටයුතු කරන්න.