අවසන් වරට යාවත්කාලීන කලේ 2023/02/27

මෙහි එන නම් ගම් මනඃකල්පිතයි.

දවසක් ප්‍රභාෂ් රාජකාරී ඉවර වෙලා යාළුවෝ එක්ක කාලය ගත කරමින් හිටියේ. ඇත්තටම එයාට වෙලාව ගත වෙනවා තේරුනේ නෑ. හොඳටම අඳුරු වෙලා කියලා රෑ 12 වෙන තුරු යාළුවෝ ටිකට දැනුනේ නෑ. ප්‍රභාෂ් යාළුවෝ තුන්දෙනා එක්ක ත්‍රීරෝද රථයකින් ගෙවල් වලට යන්න හිතුවා. ඉතින් එක එක යාළුවාව ගෙදරින් බස්සගෙන තමයි ගියේ. ප්‍රභාෂ් වාඩි වෙලා හිටියේ ත්‍රීවීල් එකේ කෙළවරම.

අන්තිමට ඔක්කොම යාළුවෝ දාලා ගෙදර ආවට පස්සේ ප්‍රභාෂ්ට හිතුනා යාළුවන්ට කතා කරලා කියන්න එයා ගෙදර ආවා කියලා. කෝල් එකක් ගන්න ෆෝන් එක බලද්දි, ෆෝන් එක තිබ්බෙ නෑ. එයා හැම තැනම ෆෝන් එක හෙව්වා. ඒත් ඒක හම්බවුණේ නෑ. ප්‍රභාෂ් ටිකක් බීලත් හිටිය නිසා වැඩේ අත ඇරලා දාලා නිදා ගත්තා.

ඊළඟ දවසෙ උදේ නැගිට්ට ගමන්ම ප්‍රභාෂ් එයාගේ ෆෝන් එක හොයන්න ගත්තා. ඒත් ඒක කොහේවත් තිබ්බෙ නෑ. එයාට තේරුම් ගියා කලින් දවසෙ රෑ එයාගේ ෆෝන් එක නැතිවෙන්න ඇති කියලා. එයාට ගොඩක් දුක හිතුනා, මොකද රු.40,000/- ක් දීලා එයා අලුතෙන්ම ගත්ත ෆෝන් එක නිසා.

ප්‍රභාෂ් එයාගේ නංගිට මේ සිද්ධිය ගැන කිව්වා. ප්‍රභෂ්ගේ නංගි හොඳටම කලබල වුණා, මොකද ප්‍රභාෂ් එයාගේ ෆෝන් එකෙන් සමාජ ජාල, ඊමේල් ගිණුම්වලට ලොග් වෙලා හිටපු නිසා. එයා ප්‍රභාෂ්ට කිව්වා හැකි ඉක්මනින් පොලිසියේ පැමිණිල්ලක් දාන්න කියලා. ඒකට ප්‍රභාෂ්ගේ ප්‍රතිචාරය වුණේ;

“මට වෙලාවක් නෑ පොලීසි ගානේ රස්තියාදු වෙන්න. අනික මගේ නෙ වැරැද්ද, මං හොඳ සිහියෙන් නෙමෙයිනේ හිටියේ. මම පොඩි ෆෝන් එකක් ගන්නවා”

ඒත් ප්‍රභාෂ්ගෙ නංගි මේක ලේසියෙන් අත අරින්න කැමති වුණේ නෑ. එදා හවස එයා ෆේස්බුක් බලනකොට හිතවතී පිටුවේ අලුත් තොරතුරක් දැක්කා.

එයා හිතවතීට මැසේජ් එකක් දාලා බැලුවා, නැති වුණු ෆෝන් එකක් හොයාගන්න විදියක් තියනවද අහලා.

https://www.ineed.police.lk හරහා පොලීසියට මාර්ගගත (ඔන්ලයින්) පැමිණිල්ලක් යොමු කළ හැකි බව එයාගේ අයියාට දන්වන ලෙස හිතවතී උපදෙස් දුන්නා. ප්‍රභාෂ් නම් ඒකට කැමති වුණෙත් නෑ. එයා ගත් කටටම කිව්වේ,

“මට ඕවා කරන්න තේරෙන්නේ නෑ..”

එයාට ඕන වුණේ ඒක අමතක කරලා දාන්න. හැබැයි එයාගේ නංගි නම් හිතුවා අදාළ වෙබ්අඩවියට ගිහින් උත්සාහ කරලා බලන්න ඕන කියලා.

ප්‍රභාෂ්ගේ නංගි ඔහුගේ ජාතික හැඳුනුම්පත් අංකය, ෆෝන් එක අසුරා තිබූ පෙට්ටියේ ස්ටිකර් එකකින් ඉමි (IMEI) අංකය වගේ අවශ්‍ය තොරතුරු ඔක්කොම අරගෙන සාර්ථක ලෙස https://www.ineed.police.lk හරහා ඔන්ලයින් පැමිණිල්ල දැම්මා.

මේ අතරතුර ප්‍රභාෂ් පොඩි ෆෝන් එකක් මිලදී ගෙන පාවිච්චි කරන්න ගත්තා. මාස 6 කට විතර පස්සේ ප්‍රභාෂ්ට කෝල් එකක් ආවා පොලීසියෙන්. එයාට පුදුම හිතුනා, මොකද එයා කිසිම පැමිණිල්ලක් දැම්මේ නැති නිසා. හැබැයි ප්‍රභාෂ්ට මතක් වුණා නංගී ඔහුගේ විස්තර අරගෙන දාපු ඔන්ලයින් පැමිණිල්ල ගැන.

ප්‍රභාෂ් පොලීසියට ගිහින් ෆෝන් එක ගත්තා. එයා ඔවුන්ට ස්තූති කළා කරදරයක් / රස්තියාදුවක් නැතිව නැති වූ ෆෝන් එක හොයාගන්න උදව් කරපු මේ ඔන්ලයින් සේවාව ගැන.

තව ගෑණු ළමයෙක් පොලීසියට ඇවිත් හිටියා. එයා තමයි ප්‍රභාෂ්ගේ ෆෝන් එක අඩු ගාණකට එදා වේල හොයාගන්න එක එක බඩු විකුණපු කොල්ලෙක්ගෙන් අරන් තියෙන්නේ. ඒ ගෑණු ළමයා බයේ ගැහි ගැහි හිටියේ. පොලීසියෙන් එයාට අවවාද දුන්න ආයේ මේ වගේ උගුල්වලට අහු වෙන්න එපා කියලා, හේතුව හොර බඩු මිල දී ගන්න එක වගේම ළඟ තියා ගන්න එකත් නීති විරෝධී නිසා.

හිතවතී කිසිම මුදල් අයකිරීමකින් තොරව ලබා දුන් මඟපෙන්වීම ගැන ප්‍රභාෂ්ගේ නංගිට ගොඩක් සතුටු හිතුනා. එයා හිතවතීට කතා කරලා ස්තූති කළා.

පූර්වාරක්ෂක ඉඟි:

  • නැති වූ ජංගම දුරකථන පිළිබඳව පොලිස් ස්ථානය වෙත නොගොස් https://www.ineed.police.lk හරහා ඔන්ලයින් පැමිණිලි යොමු කළ හැක.
  • ඔබගේ ජංගම දුරකථන / උපාංගවල ඉමි අංක / IMEI (International Mobile Equipment Identity) ඔබ ළඟ සටහන් කර තබාගන්න.
  • භාවිතා කරන ලද ඉලෙක්ට්‍රොනික උපාංග අඩු මුදලකට විකිණීමට ඇත්නම්, ඒවා මිලදී ගැනීමේ දී ප්‍රවේසම් වන්න.