අවසන් වරට යාවත්කාලීන කලේ 2026/05/19

හතුරු මිතුරු

මෙහි එන නම් ගම් සියල්ල මනඃකල්පිතයි.

හිත රිදෙන වෙන්වීමකින් පස්සේ නිමේෂි හිටියේ හොඳටම මානසිකව වැටිලා. ඒ වේදනාවත් එක්කම හිමීට එයා ජිවීතේ ආයෙමත් හදාගන්න ගමන් හිටියේ. ඒ අතරේ තමයි අරවින්දව මුණගැහෙන්නේ. ඔහුගේ ආදරණීය වචන වලට, රෑ එළිවෙනකං මවන හීන වලට වගේම අරවින්ද ඇයව තේරුම් ගන්න විදියට නිමේෂි හිටියේ හරිම සතුටින්. ඒ හැම දෙයක්ම ඇයගේ ජීවිතයට අලුත් බලාපොරොත්තුවක් ඇති කළා. ඒ විතරක් නෙවෙයි අරවින්දව ඇස් පියාගෙන වුණත් විශ්වාස කරන්න ඇයට පුළුවන් වුණා. ඇය සම්පූර්ණයෙන්ම තමාව ඔහුට බාර දීලා වගේ හිටියේ.

විශ්වාසය ඕනවටත් වඩා කිට්ටු සම්බන්ධයක් වුණා. ඒ සම්බන්ධකම ඇයව සංවේදී හා අසරණ කරන්නත් හේතු වුණා. මේ නිසාම ඇය තමන්ගේ අතිශය පෞද්ගලික ෆොටෝ පවා ඔහු සමඟ බෙදාගත්තා.

ඒත් හදිසියේම, කෝල් මැසේජ් කිසිම දෙයක් නැතුව අරවින්ද අතුරුදන් වුණා. එකපාරක් විතරක් කතාකරලා අසනීපෙන් ඉන්නේ කියලා ඔහු කිව්වා.

අරවින්ද කතාකරනකං නිමේෂි හැම තප්පරේකම බලන් හිටියා. එයා හිතාගෙන හිටියෙම අරවින්ද ඉක්මනටම කතාකරයි කියලා. හැබැයි විදුලියක් කෙටුවා වගේ එකපාරටම හිතපු නැති දෙයක් වුණා.

හැමෝම අතරේ පෝස්ට් එකක් ශෙයා වුණා.

ඒකේ හිටියේ නිමේෂි.

එයා අරවින්දට පෞද්ගලිකව යවපු ෆොටෝ එකක්.

නිමේෂි ඒ ගැන ඉක්මනින්ම අරවින්දගෙන් ඇහුවා. හැබැයි ඔහු ඒක හරිම සැහැල්ලුවෙන් මග ඇරියා. ඉවසලා ඉවසලා අවසානයේ ඇයගේ සීමාව වුනේ එතැන. ඇය තම හඬ අවදි කළා.

මේ අතරේ තාරුකාට එයා‌ගේ පෙම්වතාගේ වෙනසක් දැණුනා. කලින් වගේ ආදරේ නෑ කියලා ඇයට හිතුණා. අමුතු නිහඬතාවයක් තිබුණේ. මේ දේවල් වෙද්දී, තාරුකා දවසක් සෝෂල් මීඩියා වල වයිරල් වෙන පෝස්ට් එකක් දැක්කා.

එයා ඒ පෝස්ට් එකට ගිහින් බැලුවා. ඒ කතාව හරියට තාරුකාගේ කතාව වගේ. ඒකේ තිබුණ නම දිහා තාරුකා ආයෙමත් බැලුවා.

අරවින්ද.

තප්පර ගාණකින් ඇයට හැමදෙයක්ම තේරුණා. ඇයගේ පෙම්වතා කියලා හිතපු, විශ්වාස කරපු කෙනා ඇත්තටම හොඳ මනුස්සයෙක් නෙවෙයි කියලා ඇයට තේරුණා.

ඇය ඉක්මනින්ම නිමේෂිව හමුවුණා. දෙන්නගෙම කතාව කියාගෙන යද්දී ඒවා එකින් එකට සම්බන්ද වෙලා තිබුණා. ඒ විතරක් නෙවෙයි දෙන්නම අහුවෙලා තියෙන්නේ එකම උගුලට කියලත් තේරුණා.

ඊට පස්සේ තත්ත්වය තවත් නරක අතට හැරුණා.

හොඳටම බයවෙලා හිටපු තාරුකාගේ යාළුවෙක් ඇයට කතාකළා. එයා කිව්වා තාරුකාගේ නමින් ෆේක් එකවුන්ට් එකක් හදලා කියලා. ඇයගේ පෞද්ගලික පින්තූර එකේ ශෙයා කරලා තිබුණා. ඒ වගේම තාරුකාගේ ෆෝන් නම්බර් එකත් ශෙයා කරලා තිබුණා. ඒ එක්කම එක දිගටම නොදන්නා අංක වලින් ඇයට කෝල් ආවා. තාරුකාට මේ වෙලාවේ දැණුනේ පුදුම වේදනාවක් වගේම කලකිරීමක්.

කාලෙකට කලින් ආදරේ කියලා තෝරගෙන තියෙන්නේ බැටළු හම පොරවගත්ත වෘකයෙක් කියලා තාරුකාට හිතුණා.

හොඳටම අසරණ වෙලා මානසිකව වැටිලා හිටපු නිමේෂියි තාරුකායි හිතවතී එක්ක සම්බන්ධ වුණා. මේ සිදුවුණ කිසිම දෙයකට වැරදි ඔවුන් නොවන බව හිතවතී පැහැදිලි කරලා දුන්නා. ඒ වගේම ආරක්ෂා වෙන විදිය ගැනත් කියලා දුන්නා.

පෝස්ට් වල ලින්ක් පරිස්සම් කරලා තියාගන්නත්, ස්ක්‍රීන්ශොට් සාක්ෂි විදියට තියාගන්නත් හිතවතී උපදෙස් දුන්නා. නුසුදුසු/අපයෝජන සහිත පෝස්ට් රිපෝට් කරන විදියත් ඔවුන්ට කියලා දුන්නා. ඒවගේම ඒවා සමාජ මාධ්‍යවල ශෙයා වෙන එක නතර කරන්න නම් StopNCII වලට පැමිණිල්ලක් ඉදිරිපත් කරන්නත් හිතවතී සහය දුන්නා.

මීට අමතරව, මානසික සහනය ලබාගන්න ඔවුන්ව සුමිත්‍රයෝ ආයතනය වෙතද යොමුකළා.

පූර්ව ආරක්ෂණ උපදෙස්

  • ඔන්ලයින් සම්බන්ධතා වලදී ඉක්මන් තීරණ ගන්න එපා.
  • ඔබේ පෞද්ගලික පින්තූර කිසිවිටෙකත් බෙදාගන්න එපා.
  • එකඟතාවයෙන් බෙදාගත් පෞද්ගලික/සංවේදී පින්තූර සමාජ මාධ්‍යවල තවදුරටත් පැතිරීම නතර කිරීමට StopNCII වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම වඩාත් සුදුසුය.
  • අවභාවිතයක් සිදුවුවහොත් වහාම වාර්තා කර අවශ්‍ය සහය ලබාගන්න.