අවසන් වරට යාවත්කාලීන කලේ 2026/09/25

මෙහි එන නම් ගම් සියල්ල මනඃකල්පිතයි.

කසුන්ගේ වයස දැන් අවුරුදු 27ක්. එයාගේ වයසත් එක්ක එයා හැමවෙලේම කරගන්න බැරිවුණ දේවල් ගැන හිතලා වද වෙන ගමන් හිටියේ. එයාගේ යාළුවෝ කසාද බැඳලා ජීවිතය අලුතින් පටන් ගද්දී එයා තවමත් සහකාරියක් නැතුව පාළුවෙන් හිටියා. කසුන්ට හොඳ රැකියාවක් වගේම ස්ථීර ආදායමක් තිබුණා. නමුත් තනිකඩව ඉන්න එක එයාගේ ඔළුවට ලොකු බරක් වගේ දැනුණා.

දවසක් කසුන් ෆේස්බුක් එකේ ඉද්දී එයා දැක්කා ආදරේ කරන්න අයව හොයාගන්න පුළුවන් ඩේටිං ඇප් එකක් ගැන තියෙන පෝස්ට් එකක්. ඒ ඇප් එකෙන් කසුන්ගේ යාළුවෙක්ටත් තමන්ගේ ජීවන සහකාරිය මුණගැහිලා තිබුණා. ගොඩාක් බලාපොරොත්තු තියාගෙන කසුන් ඒ ඇප් එක ඩවුන්ලෝඩ් කළා.

ටික දවසක් යද්දී එයාට මේ ඇප් එකෙන් කාන්තාවක් මුණගැහුණා. ඒ කාන්තාව කසුන් එක්ක ආසාවෙන් වගේම උනන්දුවෙන් කතාකරනවා වගේ දැනුණා. මේ විදියට දෙන්නා දිගින් දිගටම කතා කළා. කසුන් ඒ වෙනකොටත් මේ ගෑණු ළමයා එක්ක මනසින් බැඳිලා හිටියේ. දවසක් ඇය කසුන්ට තනිවම මුණගැහෙන්න ඕනේ කියලා කිව්වා. කසුන්ට ඒක කියන්න බැරි තරම් සතුටක් වුණා. හැබැයි ඒ හැමදේම ඊළඟ දවස වෙද්දී වෙනස් වුණා.

කසුන්ගේ නමින් එයාගේ පෞද්ගලික පින්තූර, වීඩියෝ දාලා ෆේක් එකවුන්ට් එකක් හදලා තියෙනවා කියලා යාළුවෙක් කසුන්ට පෙන්නුවා. එහි කසුන් ගැන වැරදි දේවල් දාලා තිබුණා. කසුන් ගොඩාක් බය වුණා. එයා කවදාවත් ඒ වගේ වීඩියෝ කාත් එක්කවත් ශෙයා කරලා තිබුණේ නෑ. එහෙනම් ඒවා අන්තර්ජාලයට ගියේ කොහොමද?

කසුන් එයාට වෙච්ච දේ යාළුවට කිව්වා. ඊට පස්සේ එයා මේ දේවල් එකකට එකක් සම්බන්ධ කරලා හිතුවා. පස්සේ කසුන්ට තේරුණා මේක වෙන්න ඇත්තේ ඩේටිං ඇප් එකෙන් කියලා. පස්සේ ඔහු මේ ගැන හොයලා බලද්දී ඔහු හොයාගත්තා ඒ ඇප් එකට ජංගම දුරකථනයේ සංවේදී තොරතුරු වලට වගේම කැමරාවට, ගැලරියට ඇතුල් වෙන්නත් අවසර දීලා කියලා.

ආදරය කියලා හිතලා හොයපු දේ නිසාම අන්තිමට භයානක අත්දැකීමකට මුණ දෙන්න කසුන්ට සිදු වුණා.

ඔහුගේ මිතුරා කසුන්ව හිතවතී වෙත යොමු කළා. ඇප්වල අවසර (permission) ලබා දීම් පරීක්ෂා කරන විදිය, අනවශ්‍ය විදියට දීලා තියෙන අවසර ඉවත් කරන විදිය, සැක සහිත ඇප් ඉවත් කිරීම වගේම ගිණුම් ආරක්ෂා කරගන්න විදියත් හිතවතී කියලා දුන්නා.

ඒ වගේම සාක්ෂි ආරක්ෂිතව සුරැකලා තියාගෙන, පොලීසියට පැමිණිලි කරන ලෙසත් උපදෙස් ලබා දුන්නා.

අවදානම වළක්වා ගැනීමේ උපදෙස්

  • ඇප් එකක් ඩවුන්ලෝඩ් කරන්න කලින් ඒ පිළිබඳව හොඳින් පරීක්ෂා කරන්න.
  • විශේෂයෙන් කැමරාව, ඡායාරූප ගැලරිය, මයික්‍රෆෝනය සහ ඇමතුම් (contact) ලැයිස්තුවට ඇතුල් වෙන්න ඉල්ලා සිටින අවසර (permission) හොඳින් පරීක්ෂා කරන්න.
  • ඔයාගේ අනුදැනුමකින් තොරව කිසිදු දෙයක් සිද්ධ වෙන විදියට අවසර ලබා දෙන්න එපා. ඇප් එකට අවශ්‍යම අවසරයන් විතරක් ලබාදෙන්න.
  • අන්තර්ජාලය හරහා හමුවන පුද්ගලයින් සමඟ පෞද්ගලික ඡායාරූප, වීඩියෝ හෝ පෞද්ගලික තොරතුරු බෙදාගැනීමේදී සැලකිලිමත් වන්න.
  • ඇප් එකක් සැක සහිත විදියට ක්‍රියාත්මක වෙනවනම්, එහි සියලුම අවසර ඉවත් කර ඇප් එක ඉවත් (uninstall) කර දමන්න.
  • ඔත්තු මෘදුකාංගයක් (Spyware) පිළිබඳ සැකයක් තියෙනවනම්, විශ්වාසදායක වෙනත් උපාංගයකින් පාස්වර්ඩ් වෙනස් කර අවශ්‍ය සහාය ලබාගන්න.
  • පැමිණිලි කිරීම සහ වැඩිදුර විමර්ශන සඳහා ස්ක්‍රීන්ශොට්, පණිවිඩ සහ ගිණුම් ලින්ක් ආරක්ෂිතව තියාගන්න.