අවසන් වරට යාවත්කාලීන කලේ 2026/10/28

බොහෝ රටවල් ඔක්තෝබර් මාසය සයිබර් ආරක්ෂාව පිළිබඳ දැනුවත් කිරීමේ මාසය ලෙස සමරනවා. ඒ නිසා අන්තර්ජාලය භාවිත කරන විට අපි කොහොමද ආරක්ෂා වෙන්නේ කියලා මොහොතක් නැවතී හිතලා බලන්න මේක හොඳ අවස්ථාවක්. අපේ එදිනෙදා වැඩ කටයුතු වැඩි වැඩියෙන් ඩිජිටල් ලෝකයට යොමු වෙන නිසා අන්තර්ජාලය තුළ ආරක්ෂිතව සිටීම දැන් වඩාත් වැදගත්.
පවුලේ අය සහ මිතුරන් සමඟ සන්නිවේදනය කිරීමේ සිට මුදල් ගෙවීම් කිරීම, ඉගෙනීම සහ රැකියාවේ වැඩ කටයුතු කිරීම දක්වා බොහෝ දේ දැන් සිදු වෙන්නේ අන්තර්ජාලය හරහායි. නමුත් අපේ ඩිජිටල් ජීවිතය පුළුල් වෙන තරමට, අපිව රවටා වාසි ලබාගැනීමට සයිබර් අපරාධකරුවන් භාවිත කරන උපක්‍රමත් වැඩි වෙනවා.
ඒ නිසා මේ දිනවල වැඩි වශයෙන් දකින්න ලැබෙන සයිබර් තර්ජන සහ ඔන්ලයින් වංචා කිහිපයක් ගැන දැනගෙන ඉමු.
-
ඔයා කිසිම දෙයක් ක්ලික් නොකළත් අනතුරක් වෙන්න පුළුවන්!
නොදන්නා ලින්ක් ක්ලික් කරන්න එපා කියලා අපිට නිතරම මතක් කරනවා. නමුත් සමහර සයිබර් ප්‍රහාර සිදු වෙන්න අපි කිසිම දෙයක් ක්ලික් කිරීම අවශ්‍ය වෙන්නේ නැහැ.
සීරෝ-ක්ලික් ප්‍රහාර (Zero-Click Attacks) කියන්නේ සැක සහිත පණිවිඩයක් සමඟ කිසිදු අන්තර්ක්‍රියාවක් සිදු නොකරම, යෙදුමක හෝ උපාංගයක ඇති ආරක්ෂක දුර්වලතා ප්‍රයෝජනයට ගනිමින් සිදු කරන සයිබර් ප්රහාරයි. මෑතකදී මෙවැනි ප්‍රහාර WhatsApp ගිණුම් අත්පත් කරගැනීමේ සිදුවීම් සමඟත් සම්බන්ධ වී තිබෙනවා. එවැනි ගිණුමක් අත්පත් කරගත් පසු, අපරාධකරුවන්ට එම ගිණුම හරහා මිතුරන්ට, පවුලේ අයට හෝ සමූහවලට පණිවිඩ යවා මුදල් ඉල්ලන්න පුළුවන්.
-
ඔයා දකින හැම දෙයක්ම ඇත්තද?
කෘත්‍රිම බුද්ධිය (AI) භාවිතයෙන් දැන් සැබෑ පුද්ගලයෙක් කවදාවත් නොකියපු දෙයක් ඔහු හෝ ඇය කියනවා වගේ පෙනෙන, ඉතාමත් තාත්වික වීඩියෝ නිර්මාණය කරන්න පුළුවන්.
ප්‍රසිද්ධ පුද්ගලයන් පෙනී සිටින ආකාරයට නිර්මාණය කළ ව්‍යාජ වීඩියෝ භාවිතයෙන් වංචනික ආයෝජන අවස්ථා, රැකියා අවස්ථා සහ වෙනත් වංචා ප්‍රචාරය කරන්න පුළුවන්. ඒ නිසා වීඩියෝවක අපි දන්නා හඳුනන කෙනෙකුගේ මුහුණ තිබුණා කියලා එහි අන්තර්ගතය සත්‍ය බව විශ්වාස කරන්න එපා.
-
“මේ කටහඬ මම දන්නවානේ!”
කෘත්‍රිම බුද්ධිය භාවිතයෙන් පුද්ගලයෙකුගේ කටහඬ අනුකරණය කරන්නත් දැන් පුළුවන්.
වංචාකරුවෙකුට AI මඟින් නිර්මාණය කළ කටහඬක් භාවිත කරලා පවුලේ සාමාජිකයෙකු, මිතුරෙකු, සහෝදර සේවකයෙකු හෝ වෙනත් විශ්වාසවන්ත පුද්ගලයෙකු ලෙස පෙනී සිටිමින් කතා කරන්න පුළුවන්. ඉන්පසු හදිසි අවශ්‍යතාවක් ඇති බව පවසමින් මුදල් හෝ පෞද්ගලික තොරතුරු ඉල්ලන්නත් පුළුවන්.
ඔයා හඳුනන කෙනෙකුගේ කටහඬින් අසාමාන්‍ය ඉල්ලීමක් ලැබුණොත්, ඒ ගැන තහවුරු කරගන්න කලින් ඉක්මන් වෙලා ප්‍රතිචාර දක්වන්න එපා. වෙනත් සන්නිවේදන ක්‍රමයක් හරහා එම පුද්ගලයා සම්බන්ධ කරගෙන ඉල්ලීම ඇත්තක්ද කියලා තහවුරු කරගන්න.
-
AI වංචාකරුවන්ටත් උදව් කරනවාද?
AI තාක්ෂණය නිසා වංචාකරුවන්ට පුද්ගලයන් ඉලක්ක කරගනිමින්, වඩාත් විශ්වාසදායක ලෙස පෙනෙන වංචනික පණිවිඩ විශාල ප්‍රමාණයක් නිර්මාණය කිරීම පහසු වෙලා තිබෙනවා. පුද්ගලයන් පිළිබඳ තොරතුරු අනුව පණිවිඩ වෙනස් කර සකස් කළ හැකි නිසා, ඒවා සැබෑ පණිවිඩ ලෙස පෙනීමටත් ඒවාට ප්‍රතිචාර දැක්වීමට පුද්ගලයන් පෙළඹීමටත් ඉඩ වැඩියි.
ඒ නිසා හැමෝටම එකම ආකාරයේ වංචනික පණිවිඩ යවනවා වෙනුවට, එක් එක් පුද්ගලයා ඉලක්ක කරගනිමින් විශේෂයෙන් සකස් කළ පණිවිඩ වැඩි වශයෙන් දකින්න ලැබෙන්න පුළුවන්.
-
උදව් කරනවා වගේ පෙනෙන දේවල් පවා අනතුරුදායක වෙන්න පුළුවන්!
සමහර වංචාවලදී ව්‍යාජ දෝෂ පණිවිඩ හෝ තාක්ෂණික සහාය ලබාදෙන බව පෙන්වන උපදෙස් භාවිත කරලා, ඔයාගේ උපාංගයේ ගැටලුවක් තිබෙන බවත් එය වහාම විසඳිය යුතු බවත් විශ්වාස කරවන්න උත්සාහ කරනවා.
වෙබ් අඩවියක් මඟින් ගැටලුවක් විසඳීමට යම් පියවර අනුගමනය කරන්න, මෘදුකාංගයක් ස්ථාපනය කරන්න හෝ ලබා දී ඇති විධානයක් පිටපත් කර ඇතුළත් කරන්න කියලා උපදෙස් දෙන්න පුළුවන්. උදව්වක් වගේ පෙනුණත්, එවැනි උපදෙස් අනුගමනය කිරීමෙන් අපරාධකරුවන්ට ඔයාගේ උපාංගයට හෝ ඔන්ලයින් ගිණුම්වලට ප්‍රවේශය ලබාගැනීමට ඉඩ සැලසෙන්න පුළුවන්.
-
AI මෙවලම් පවා අපට එරෙහිව භාවිත කරන්න පුළුවන්!
AI මෙවලම් ජනප්‍රිය වන විට, අපරාධකරුවන් හානිකර AI යෙදුම්, බ්‍රවුසර දිගු (browser extensions) සහ වෙනත් මෙවලම් ද නිර්මාණය කරනවා. මේවායින් සමහරක් පෞද්ගලික තොරතුරු, ගොනු හෝ ඔන්ලයින් ගිණුම් වෙත ප්‍රවේශ වීමට අනවශ්‍ය අවසර ඉල්ලන්න පුළුවන්.
AI තාක්ෂණය භාවිත කරන අනිෂ්ට මෘදුකාංග (malware) පිළිබඳවත් සයිබර් ආරක්ෂක පර්යේෂකයන් හඳුනාගෙන තිබෙනවා. මෙයින් පැහැදිලි වෙන්නේ වංචනික පණිවිඩ නිර්මාණය කිරීමට පමණක් නොව, අනිෂ්ට මෘදුකාංග ක්‍රියාත්මක කිරීමේදීත් අපරාධකරුවන් AI භාවිත කළ හැකි බවයි. ඒ නිසා AI මෙවලම් බාගත කිරීමේදී විශ්වාසදායක මූලාශ්‍ර පමණක් භාවිත කරන්න. ඒවා ස්ථාපනය කිරීමට පෙර ඉල්ලා සිටින අවසර පිළිබඳවත් සැලකිලිමත් වෙන්න.
-
රැකියා අවස්ථාවක් කියලා එන පණිවිඩයක් වුණත් සයිබර් තර්ජනයක් වෙන්න පුළුවන්!
හැම සයිබර් තර්ජනයක්ම සැක සහිත පණිවිඩයකින් හෝ වෙබ් අඩවියකින් ආරම්භ වෙන්නේ නැහැ.
අන්තර්ජාලය හරහා රැකියා සොයන පුද්ගලයන් ද වංචාකරුවන්ගේ ඉලක්ක බවට පත්වෙන්න පුළුවන්. ඉහළ වැටුප් හෝ විදේශ රැකියා අවස්ථා ලබාදෙන බවට පොරොන්දු වෙමින් ව්‍යාජ රැකියා දැන්වීම් පළ කරන්න පුළුවන්. මෙවැනි ව්‍යාජ දැන්වීම්වලට රැවටුණු ඇතැම් පුද්ගලයන් මිනිස් ජාවාරමට ගොදුරු වී, බලහත්කාරයෙන් සයිබර් වංචා මෙහෙයුම්වලට සම්බන්ධ කරගෙන තිබෙනවා.
ඒ නිසා ඔන්ලයින් රැකියා අවස්ථාවක් පිළිගැනීමට හෝ පෞද්ගලික ලේඛන ලබාදීමට පෙර එහි සත්‍යතාව හොඳින් පරීක්ෂා කර තහවුරු කරගන්න.
අපි කොහොමද මේ තර්ජනවලින් ආරක්ෂා වෙන්නේ?
සයිබර් තර්ජන වෙනස් වුණත්, සරල ආරක්ෂිත පුරුදු කිහිපයක් අනුගමනය කිරීමෙන් අපට වඩාත් ආරක්ෂිතව සිටින්න පුළුවන්.
- යමක් කිරීමට පෙර මොහොතක් නැවතී සිතන්න, විශේෂයෙන්ම පණිවිඩයක් මඟින් හදිසියක් ඇති කරන විට හෝ බිය ගන්වන විට.
- අසාමාන්‍ය ඉල්ලීම් තහවුරු කරගන්න. වෙනත් විශ්වාසදායක සන්නිවේදන ක්‍රමයක් භාවිත කර එය ඇත්තක්ද කියලා පරීක්ෂා කරන්න.
- වීඩියෝවක් හෝ කටහඬක් සැබෑ ලෙස පෙනෙන හෝ ඇසෙන පමණින් විශ්වාස කරන්න එපා.
- ඔයාගේ දුරකථනය, මෙහෙයුම් පද්ධතිය සහ යෙදුම් නිරන්තරයෙන් යාවත්කාලීන කරන්න.
- හැකි සෑම ගිණුමකම දෙපියවර සත්‍යාපනය (Two-Step Verification) සක්‍රීය කරන්න.
- යෙදුම් සහ AI මෙවලම් විශ්වාසදායක මූලාශ්‍රවලින් පමණක් බාගත කරන්න. ඒවා ඉල්ලා සිටින අවසර පරීක්ෂා කරන්න.
- ඔන්ලයින් රැකියා අවස්ථා පිළිබඳ සැලකිලිමත් වෙන්න, විශේෂයෙන්ම අසාමාන්‍ය ලෙස ඉහළ වැටුප් පොරොන්දු වන අවස්ථා ගැන.
- සැකයක් ඇති විට, විශ්වාස කරන කෙනෙකුගෙන් විමසන්න. මුදල් යැවීමට, තොරතුරු බෙදාගැනීමට හෝ උපදෙස් අනුගමනය කිරීමට පෙර ඒවායේ සත්‍යතාව තහවුරු කරගන්න.
අවධානයෙන් ඉන්න. ආරක්ෂිතව ඉන්න.
තාක්ෂණය දියුණු වන විට, එය වැරදි ලෙස භාවිත කරන ආකාරත් වෙනස් වෙනවා. හැම වංචාවක්ම එකවර හඳුනාගැනීමට අපට නොහැකි වෙන්න පුළුවන්. නමුත් යමක් කිරීමට පෙර මොහොතක් නැවතී ඒ ගැන පරීක්ෂා කර බැලීමේ පුරුද්ද ඇති කරගන්න අපට පුළුවන්.
නවතින්න. හිතන්න. පරීක්ෂා කරන්න. තහවුරු කරගන්න.
සමහර වෙලාවට පණිවිඩයක්, වීඩියෝවක්, කටහඬක් හෝ යම් අවස්ථාවක් පිළිබඳව අපට කළ හැකි ආරක්ෂිතම දේ වන්නේ මොහොතක් නැවතී අපෙන්ම මේ ප්රශ්නය අසාගැනීමයි.
“මේක ඇත්තක් කියලා මම කොහොමද දැනගන්නේ?”
මූලාශ්‍ර:
