අවසන් වරට යාවත්කාලීන කලේ 2026/05/26
අභිරහස් ඩිලිවරි බෝයි

කෑෂ් ඔන් ඩිලිවරි (COD) කියන්නේ ලංකාවේ ඉන්න බොහෝ අය දෙපාරක් හිතන්නේ නැතුවම විශ්වාස කරන දෙයක්. ඔන්ලයින් ඕඩර් කරන ඕනෑම දෙයක් ගෙදරට ආවාට පස්සේ සල්ලි ගෙවන එක පහසුයි කියලනේ අපිට හිතෙන්නේ. හැබැයි මේ දේ වංචාකරුවන් වැරදි විදියට පාවිච්චි කරන්න පටන් අරන්. බොරු දුරකථන ඇමතුම් වගේම QR කෝඩ් වලින් ගෙවීම් කරන්න කියලා මිනිසුන්ව රවට්ටන්න විවිධ ක්‍රම හොයාගෙන තියෙනවා. හැබැයි ගෙවීම් කරපු කෙනාට අන්තිමට කිසිම දෙයක් ලැබෙන්නේ නෑ. මේ වංචාව මිනිස්සුන්ට හිතාගන්න බැරි විදිහට හරිම පහසුවෙන් වගේම ඉක්මනින් වෙනවා.
මේ වංචාව ඇත්තටම ක්‍රියාත්මක වෙන හැටි
මේ වංචාව හරිම සරලයි හැබැයි සූක්ෂමයි.
- ඔයා කෑෂ් ඔන් ඩිලිවරි ඕඩර් එකක් දානවා, නැත්නම් ඒක එනතුරු ඔයා බලාගෙන ඉන්නවා.
- ඒ අතරේ ඩිලිවරි ආයතනයෙන් වගේ ඔයාට කෝල් එකක් එනවා.
- ඔයාගෙන් මෙන්න මේ දේවල් එයාලා ඉල්ලනවා:
- QR කෝඩ් එකක් ස්කෑන් කරන්න කියලා හරි,
- ස්ථීර කරන්න හෝ ක්‍රියාත්මක කරන්න පොඩි මුදලක් ගෙවන්න හරි කියලා.
- ඒ ගෙවන සල්ලි කෙලින්ම යන්නේ වංචාකරුවන්ගේ අතට.
- හැබැයි මේ හැමදේටම පස්සේ ඇත්තටම ඕඩර් කරපු දේ ගෙදරට එනකොට තමයි වුණ දේ ගැන හරියටම තේරුම් යන්නේ.
මිනිසුන් හිතන දේ හා ඇත්තටම වෙන දේ
“මම ඕඩර් එකක් දාලා තියෙනවා, ඒ නිසා මේක මගේ පාර්සල් එක වෙන්න ඇති.”
→ ඩේටා ලීක් වීමකින් හෝ සෝෂල් මීඩියා වල ක්‍රියාකාරකම් හරහා වංචාකරුවන්ට ඔයාගේ ෆෝන් නම්බර් එක වගේම ඩිලිවරි එක සම්බන්ධ තොරතුරු ලැබෙන්න පුළුවන්.
“ඩිලිවරි එක ස්ථීර (confirm) කරන්න මේක පුංචි පියවරක් විතරයි.”
→ ඇත්තම (genuine) කෑෂ් ඔන් ඩිලිවරි වල පාර්සල් එක ලැබෙන්න කලින් මුදල් ගෙවන්න අවශ්‍ය වෙන්නේ නෑ. ස්ථීර කරන්න කියලා එන පණිවුඩ බොරු ඒවා.
“QR කෝඩ් එක ස්කෑන් කරන එකේ අවුලක් නැහැ.”
→ QR කෝඩ් එකක් ස්කෑන් කළාට පස්සේ මුදල් ගෙවීමකට හෝ වංචනික වෙබ්සයිට් එකකට ඇතුල් වෙන්න පුළුවන්. ඒකෙන් වෙන්නේ තොරතුරු පරීක්ෂා කරන එකම නෙවෙයි.
“මම ගෙවන්නේ පොඩි ගාණක් විතරයි.”
→ පොඩි ගාණක් වුණත් ඒවා කෙලින්ම යන්නේ වංචාකරුවන්ගේ අතට. ඒ වගේම ඒ මුදල් ආයේ ගන්නත් ලේසි වෙන්නේ නෑ.
ඔයාව ආරක්ෂා කරගන්නේ කොහොමද?
- ඩිලිවරි එකෙන් වගේ කෝල් කරන පුද්ගලයින් එකපාරටම එවන QR කෝඩ් ස්කෑන් කරන්න එපා.
- කෑෂ් ඔන් ඩිලිවරි දාපු පාර්සල් ලැබෙන්න කලින් කිසිම ගෙවීමක් කරන්න එපා.
- හැමවෙලේම නිවැරදි කුරියර් සේවාවද කියලා තහවුරු කරගන්න.
- දෙයක් කරන්න කලින් මොහොතක් හිතන්න – කලබල වෙන්න එපා.
- මේ වගේ වංචා ගැන පවුලේ අනිත් අයවත් දැනුවත් කරලා තියන්න.
ඔයා මෙවැනි වංචාවකට අහුවුණොත්
- දිගටම ගෙවීම් කරන එක වහාම නවත්වන්න.
- හැකි ඉක්මනින් ඔයාගේ බැංකුවට කතාකරන්න.
- ගත්ත කෝල් (logs) වගේම ස්ක්‍රීන්ශොට් පරිස්සමට තියාගන්න.
- මේ වංචාව ගැන අදාළ බළධාරීන් දැනුවත් කරන්න.
මතක තියාගන්න
කෑෂ් ඔන් ඩිලිවරි (COD) කියන්නේ පාර්සලය අතටම ලැබුණාට පස්සේ මුදල් ගෙවන එකට.
ඇත්ත ඩිලිවරි සේවාවක් කවදාවත් පාර්සලය ලැබෙන්න කලින් ඩිජිටල් ගෙවීම් කරන්න කියන්නේ නෑ.
