අවසන් වරට යාවත්කාලීන කලේ 2022/07/05

කොවිඩ් වසංගතය කාලේ වෙළඳසැලකට ඇතුල්වීම මෙන්ම විශ්වවිද්‍යාලයේ මාර්ගගත (ඔන්ලයින්) පැවරුම් ලබා ගැනීමට QR කේතයක් (කෝඩ් එකක්) ස්කෑන් කිරීම වර්තමානයේ නවතම ප්‍රවණතාවය වී ඇත. එය බොහෝ විට යෞවනයන් සහ සමහර වැඩිහිටියන් විසින් භාවිතා කරන පහසු මෙවලමකි. එහෙනම් අපි බලමු ඇත්තටම මොකක්ද මේ “QR කේතය” කියන්නේ කියලා.

QR කේතයක් යනු කුමක්ද?

ඉක්මන් ප්‍රතිචාරය (Quick Response) යන්න කෙටි ආකාරයෙන් දක්වන්නේ QR මගිනි. QR කේතය (කෝඩ්), මුද්‍රිත ආකාරයට ලබා ගත හැකි ඩිජිටල් දත්තවල චිත්‍ර (ග්‍රැෆික්) නිරූපණයකි. මෙය ස්මාට් ජංගම දුරකථනයකින් හෝ වෙනත් ස්කෑනිං උපාංගයකින් ස්කෑන් කළ හැකිය.
තීරු කේත (Bar codes) මෙන් නොව, QR කේත සිරස් සහ තිරස් අක්ෂ දෙකෙහිම දත්ත ගබඩා කර ගනී. මේ නිසා QR කේත වැඩි දත්ත ප්‍රමාණයක් ගබඩා කර ගනී. QR කේතයක ඇති දත්තවල වෙබ් අඩවිවල සබැඳියක් (ලින්ක් / URL), PDF ගොනුවක්, ගොඩබෑමේ (ලෑන්ඩිං) පිටුවක්, ප්‍රශ්නාවලියක්, වීඩියෝ සහ ශ්‍රව්‍ය ගොනු අඩංගු විය හැක.

QR කේත භයානකද?

QR කේතයක් දත්ත ගබඩා කිරීමේ මාධ්‍යයක් වන බැවින් සාමාන්‍යයෙන්, එය භයානක දෙයක් නොවේ. කෙසේ වෙතත්, විද්‍යුත් තැපෑලක (ඊමේල්) හානිකර සබැඳියක් අඩංගු විය හැකි ආකාරයට, QR කේතයක ද හානිකර URL එකක් අඩංගු විය හැක. එබැවින් ඔබ එහි නීත්‍යානුකූල භාවය තහවුරු කර නොගෙන ඉදිරියට ගියහොත් QR කේතවලට සම්බන්ධ URL පවා අවදානම් විය හැක.

QR කේත භයානක වන්නේ කෙසේද?

  • QR කේතයක ඇති URL (ලින්ක්) මඟින් ඔබේ ගිණුම්වල username සහ පාස්වර්ඩ් සොරකම් කිරීම සඳහා ඔබව ෆිෂිං වෙබ් අඩවියකට යොමු කළ හැක.
  • URL වලට ඔබව අනිෂ්ට (මැල්වෙයා සහිත) වෙබ් අඩවි වෙත ගෙන යා හැක. අනිෂ්ට URL එක මගින් ඔබගේ උපාංගයේ යෙදුමක් (ඇප්) විවෘත කර උපාංගයේ පවතින දත්ත වෙතට ප්‍රවේශ වීමට උත්සාහ කළ හැක.
  • QR කේතය ස්කෑන් කිරීමට භාවිතා කරන යෙදුමේ ඔබගේ උපාංගය පාලනය කිරීමට අනිෂ්ට QR කේතවලට ඉඩ සලසන අවදානමක් අඩංගු විය හැක.
  • ගෙවීම් කටයුතු වලදී QR කේත ස්කෑන් කිරීම සුලභ වී ඇති නිසා මූල්‍යමය වංචා සිදු විය හැක.
  • QR කේත හරහා සිදුවන “clickjacking”. මෙහිදී අව්‍යාජ / නිල වෙබ්අඩවිය ලෙස හැසිරීමට උත්සාහ කරන ව්‍යාජ වෙබ් අඩවියක් මගින් අනිෂ්ට මෘදුකාංග ඩවුන්ලෝඩ් කරවීම සඳහා බොත්තම් යොදා ගනිමින් පරිශීලකයන් උසි ගන්වයි.

අනිෂ්ට QR කේත වලින් ආරක්ෂා වන්නේ කෙසේද?

  • සැක සහිත කොටස් සඳහා QR කේතය පරීක්ෂා කරන්න. ඔබ QR කේතය ස්කෑන් කරන විට, මුල් කේතයට උඩින් තබා ඇති ස්ටිකරයක් වැනි දෙයකින් කේතය විකෘති වී නැති බව සහතික කර ගන්න.
  • QR කේතය ස්කෑන් කිරීමට තෙවන පාර්ශවීය යෙදුම් (ඇප්) භාවිතා කිරීමෙන් වළකින්න. ඒ වෙනුවට උපාංග නිෂ්පාදකයා විසින් නිර්දේශිත විශ්වාසදායී යෙදුම් භාවිතා කරන්න.
  • URL (ලින්ක්) එක තහවුරු කර ගන්න – QR කේතය මගින් යොමු කරන URL එක ප්‍රවේශමෙන් පරීක්ෂා කර එය SSL සහතික කර ඇත්නම් සබැඳිය මත ක්ලික් කරන්න (https:// සමඟින් ආරම්භ වන).

මූලාශ්‍ර:
https://learn.g2.com/qr-code-security
https://theconversation.com/how-qr-codes-work-and-what-makes-them-dangerous-a- computer-scientist-explains-177217