අවසන් වරට යාවත්කාලීන කලේ 2024/03/21

ඔයාට අතීතයට ගිහින් දේවල් වෙනස් කරන්න බැරි වෙයි…ඒ්ත් ඉස්සරහට යන්න බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන්.

 


Source of the image: https://stopncii.org/

 

StopNCII.org (ස්ටොප් එන්.සී.අයි.අයි.) පවත්වාගෙන යනු ලබන්නේ SWGfL හි කොටසක් වන Revenge Porn Helpline මඟිනි. SWGfL සෑම කෙනෙකුටම කිසිදු හානියක් නොමැතිව ආරක්ෂිතව තාක්‍ෂණය භාවිත කළ හැකි බව සහතික කිරීම අරමුණු කරගත් මහජන සුභ සිද්ධිය උදෙසා ක්‍රියා කරන ආයතනයකි.

2000 වසරේ සිට, SWGfL අන්තර්ජාලයේ සෑම දෙනාම ආරක්ෂිතව තබා ගැනීමට ලොව පුරා හවුල්කරුවන් සමඟ අත්වැල් බැඳ ගනිමින් සිටියි.

Revenge Porn Helpline (RPH / රිවෙන්ජ් පෝන් හෙල්ප්ලයින්) 2015 දී ආරම්භ කළේ අනවසරයෙන් එකිනෙකාගේ සමීප (අතිශය පෞද්ගලික / නිරුවත් / අසභ්‍ය) පින්තූර හුවමාරු කරමින් ඔවුන්ට බලපෑම් කිරීම වැළැක්වීම සඳහා ය. එතැන් සිට ඔවුන් වින්දිතයින් දහස් ගණනකට උදව් කර ඇත. ඔවුන් 90%කට වඩා වැඩි සාර්ථකත්වයක් සමඟින් මෙවැනි පින්තූර 300,000කට වඩා අන්තර්ජාලයෙන් ඉවත් කර ඇත.

StopNCII.org ක්‍රියාත්මක වන ආකාරය

• ලෝකයේ වයස අවුරුදු 18ට වැඩි ඕනෑම කෙනෙකුට StopNCII.org වෙත පිවිසිය හැක.
• StopNCII.org ඔබේ නිරුවත් රූපයේ හෝ වීඩියෝවේ ‘හැෂ්’ හෝ ‘ඩිජිටල් ඇඟිලි සලකුණ’ ලෙස හඳුන්වන ඩිජිටල් කේතයක් (කෝඩ්) ජනනය කරයි. මෙයින් අදහස් වන්නේ ඔබගේ අන්තර්ගතය (පින්තූර / වීඩියෝ) ඔබගේ උපාංගයෙන් කිසිවිටෙක හුවමාරු (ශෙයා) කිරීමට අවශ්‍ය නොවන බවයි.
• හැෂ් අගය (hash value) සෑදූ පසු, එය StopNCII.org හි හැෂ් බැංකුව වෙත යයි.
• එතැන් සිට, හැෂ් අගය StopNCII.org සමඟ සම්බන්ධව සිටින බොහෝ සංකේතනය (එන්ක්‍රිප්ට්) නොකළ සමාජ මාධ්‍ය ඇප් වෙත යවනු ලැබේ. (ඔබ විසින් පැමිණිල්ල ඉල්ලා අස් කර ගත් අවස්ථාවක හැර, සාමාන්‍යයෙන් ඔබේ අන්තර්ගතය සඳහා වන හැෂ් අගය, සමාජ මාධ්‍ය වේදිකාවලට යවනු ලැබේ.).
• යමෙක් මෙම සමාජ මාධ්‍ය යෙදුම් (ඇප්) හරහා ඔබගේ පුද්ගලික ඡායාරූපය හෝ වීඩියෝව පෝස්ට් / ශෙයා කිරීමට උත්සාහ කරන්නේ නම්, හැෂ් අගය ගැලපීම හරහා එය පළ / හුවමාරු වීම වැළකේ.

Source of the image: https://stopncii.org/

 

StopNCII.org මඟින් සහය ලබා ගන්නා පියවර

(ඉහත පින්තූරයේ දක්වා ඇති Steps) සිංහලෙන්

පියවර 1
ඔබගේ උපාංගයෙන් ඕනෑම නිරුවත් රූපයක් / වීඩියෝවක් තෝරා ගන්න.
පියවර 2
StopNCII.org මඟින් “හැෂ්” ලෙස අදාළ රූපයේ හෝ වීඩියෝවේ ඩිජිටල් ඇඟිලි සලකුණ නිර්මාණය කරයි. ඔබගේ උපාංගයෙන් ඉවතට යන්නේ හැෂ් අගයක් පමණයි. එනම් අදාළ පින්තූර හෝ විඩීයෝ අප්ලෝඩ් (ශෙයා) වීමක් සිදු නොවේ. එය ඔබගේ උපාංගයේම පවතී.
පියවර 3
ඔබගේ පැමිණිල්ල සාර්ථකව යොමු කර ඇත්නම් අදාළ පැමිණිල්ලේ තත්ත්වය විමසා බැලීම සඳහා ඔබට පැමිණිලි අංකයක් ලැබෙනු ඇත. ඔබගේ පැමිණිලි අංකය සහ අදාළ පින් අංකය සටහන් කරගැනීමට මතක තබා ගන්න. (හේතුව, මෙය ආපසු ලබාගත නොහැක.)
පියවර 4
හවුල්කාර සමාගම් අදාළ පින්තූරවල හැෂ් අගයන් සමඟ ගැළපීම් සොයනු ලැබේ. එම සමාගම්වල නිරුවත් රූප අපයෝජන ප්‍රතිපත්තීන් වලට පටහැනි වන්නේ නම් එම පින්තූර අදාළ පද්ධතීන් තුළින් ඉවත් වේ.
පියවර 5
StopNCII.org මඟින් වරින් වර අදාළ පින්තූර සෙවීම සඳහා හවුල්කාර වෙබ්අඩවි වල ඩිජිටල් හැෂ් අගයට ගැළපීම් සෙවීමේ ක්‍රියාවේ නිරත වෙයි.
පියවර 6
ඔබගේ පැමිණිලි අංකය හරහා ඕනෑම වේලාවක ඔබගේ පැමිණිල්ලේ තත්ත්වය ගැන විමසීමට හැක. ඒ වගේම ඔබගේ පැමිණිල්ල ඉවත් කර ගැනීමටද හැක.

 

StopNCII.org හරහා පැමිණිලි සහ හැෂ් ලබා ගන්නා හවුල්කරුවන්

 

ශ්‍රී ලංකාවේ කාන්තා ආරක්ෂාව සහතික කිරීමේ ඉතා වැදගත් පියවරක් ලෙස 2024 මාර්තු මාසයේදී හිතවතී, StopNCII.org සමඟ අත්වැල් බැඳ ගනිමින් ඔවුන්ගේ ගෝලීය ජාල සහකරුවෙකු බවට පත් විය

මූලාශ්‍රය:

https://stopncii.org/