අවසන් වරට යාවත්කාලීන කලේ 2023/10/16

සඳුන් නව යොවුන් වියේ පසු වුන තරුණයෙක්. ඔහු ඔන්ලයින් පරිගණක පාඨමාලාවක් හදාරමින් හිටියෙ. සඳුන්ගෙ හැම යාළුවෙක්ටම පෙම්වතියක් හිටියා. ඒ නිසා සඳුන්ටත් ගෑණු ළමයෙක් එක්ක ‍යාළු වෙන්න ඕනකමක් තිබ්බා. සඳුන් යාළුවො හම්බවෙන්න ගිය ගොඩක් වෙලාවට යාළුවො ඇවිත් හිටියෙ එයාලගෙ පෙම්වතියන් එක්ක. සඳුන්ටත් මෙහෙම කරන්න ඕන වුණා. ඒ නිසා එයා ෆේස්බුක් එකෙන් ගෑණු ළමයෙක්ව හොයන්න පටන් ගත්තා.

එයා ගොඩක් ගෑණු ළමයින්ව ෆොලෝ කරන්න ගත්තා. එක දවසක් අප්සරා කියලා ලස්සන ගෑණු ළමයෙක්ගෙන් සඳුන්ට මිතුරු වීමට ඇරයුමක් ලැබුණා. ඒක දැක්ක ගමන් සඳුන් දෙපාරක් හිතන්නෙ නැතිව ඒ ඇරයුම පිළිගත්තා. සඳුන්ට මේ ගෑණු ළමයට මැසේජ් එකක් දාන්න ලොකු උවමනාවක් තිබුනත් හදිසි වෙන්නෙ නැතිව ටික වෙලාවක් බලාගෙන හිටියා. ඒත් ටික වෙලාවක් යනකොට ඉවසන් ඉන්න බැරිම තැන සඳුන් අප්සරාට මැසේජ් එකක් යැව්වා.

            සඳුන්: හායි
            අප්සරා: හායි
            සඳුන්: ඉතින්, මට ඔයා ගැන ටිකක් කියන්නකො
            අප්සරා: හ්ම්ම්ම්… මොනවද ඔයාට මං ගැන දැනගන්න ඕන 😊
            සඳුන්: ඔයා මොකද කරන්නේ, කොහෙන්ද? හැම දෙයක්ම දැනගන්න ඕන
            අප්සරා: මම ඒලෙවල් ඉවර වෙලා ප්‍රතිඵල එනකල් ඉන්නෙ. මේ දවස්වල මම පොඩි පාට් ටයිම් ජොබ් එකක් කරනවා
            සඳුන්: ශා මරුනෙ. ඉතින් ඔයාගෙ පවුලෙ විස්තර කියන්නකො?
            අප්සරා: මට පොඩි මල්ලි කෙනෙක් ඉන්නවා. තාත්තා රට ඉන්නෙ. අම්මා නම් ජොබ් එකක් කරන්නෙ නෑ.. ඉතින් මට ඔයා ගැනයි ඔයාගෙ පවුලෙ අය ගැනයි විස්තර කියන්නකො…

සඳුනුයි අප්සරායි දිගින් දිගටම කථා කරන්න ගත්තා. සඳුන් හැම දෙයක්ම අප්සරාට කිව්වා. ඒ දෙන්නා පින්තූරත් ශෙයා කර ගත්තා. ඔහොම ටික දවසක් යනකොට සඳුන් අප්සරාට වැඩියෙන් ළං වෙන්න පටන් ගත්තා. එයාට කොහොමහරි අප්සරාව මුණගැහෙන්න ඕන වුණා.

            සඳුන්: හායී පැටියො, අපි මේ සති අන්තේ මීට් වෙමුද?
            අප්සරා: සොරි අනේ, මට නම් බෑ. අපේ අම්මා හරි සැරයි. පස්සේ දවසක හම්බවෙමු..

සඳුන්ට මේක අහලා ටිකක් දුක හිතුනා. එයාට ඕන වුනේ අප්සරාව හම්බවෙලා යාළුවන්ටත් හඳුන්වලා දෙන්න.

            සඳුන්: හරි කමක් නෑ. පස්සේ හම්බවෙමු. එහෙනම් වීඩියෝ කෝල් එකක් වත් ගමුද?
            අප්සරා: සොරි, මට කෝල් ගන්න බෑ පැටියො.. අපේ අම්මා හැම වෙලේම ගෙදර ඉන්නෙ. අපි දැන් චැට් කරමුකො..
            සඳුන්: ඔයාගෙ අම්මා පොඩ්ඩකටවත් එළියට යන්නෙ නැද්ද????

මේ සැරේ නම් සඳුන්ට තරහ ගියා වගේම පොඩි සැකයකුත් ආවා, අප්සරා නිකන් හිරකාරියක් වගේ හැසිරෙන හින්දා. සඳුන්ට ගොඩක් දුක හිතුනත්, අප්සරාට තිබුණ කැමැත්ත නිසා එයා කොහොමහරි හිත හදා ගත්තා.

ටික වෙලාවකට පස්සේ අප්සරා සඳුන්ගෙන් ඇහුවා ඔහුගේ ඇඳුම් නැති ඡායාරූප ටිකක් එයාට එවන්න පුළුවන්ද කියලා.

            අප්සරා: අනේ දුක් වෙන්න එපා පැටියො. අපි ඉක්මනින් හම්බවෙමු. එතකල් මට පොඩ්ඩක් ඔයාව බලන්න ඕන.. ඔයාට තේරෙනවනෙ මම කියන දේ.

මේ කථාවෙන් සඳුන්ගේ මූඩ් එක පොඩ්ඩක් වෙනස් වුණා. එයාට පොඩ්ඩක් ලැජ්ජත් හිතුණා අප්සරා කිව්ව දේට. අප්සරා දිගින් දිගටම කිව්ව නිසා සඳුන් වැඩිය හිතන්නෙ නැතිව ශර්ට් එක නැති පින්තූර ටිකක් යැව්වා.

ටික දවසක් යනකොට සඳුන්ට තේරුණා අප්සරාගෙ වෙනස්කමක්; එයා නපුරු විදියට තමයි සඳුන්ට සැලකුවෙ. සඳුන් අප්සරාගෙ වෙනස්වීමට හේතුව ඇහුවත් අප්සරා මුකුත් කිව්වෙ නෑ.

දවසක් හවස අප්සරාගෙන් සඳුන්ට මැසේජ් එකක් ආවා. සඳුන් හරිම ආසාවෙන් මැසේජ් එක කියවන්න ගත්තා මොකද කාලෙකින් සඳුන්ට අප්සරාගෙන් මැසෙජ් එකක් ආවේ නැති නිසා.

            අප්සරා: මට එවපු පින්තූර ඔක්කොම ඔයාගෙ ගෙදර අයට යවනවා. එහෙම නොවෙන්න නම් මගේ අකවුන්ට් එකට රුපියල් ලක්ෂයක් දානවා!

සඳුන්ට පුදුම හිතුණා මේ මැසේජ් එක දැකලා. එයා මේ වගේ දෙයක් කොහෙත්ම බලාපොරොත්තු වුණේ නෑ.

            සඳුන්: අප්සරා ඔයාට මොකක්ද මේ වෙලා තියෙන්නෙ?
            අප්සරා: මම කියන විදියට කරනවා මිනිහො, සල්ලි ටික දානවා මට. අප්සරා කියලා ගෑණියෙක් නෑ. මම මැරයෙක්.. මාත් එක්ක සෙල්ලම් කරන්න නම් ලෑස්ති වෙන්න එපා!

වැඩි වෙලාවක් යන්න කලින් සඳුන්ට තේරුණා අප්සරා කියලා කියන්නෙ බොරු කෙනෙක් කියලා. ඒ වගේම අප්සරාගෙ ගිණුම ලස්සන ගෑණු ළමයෙක්ගෙ පින්තූර පාවිච්චි කරපු ව්‍යාජ (ෆේක්) ෆේස්බුක් ගිණුමක් කියලා. සඳුන්ට එකපාරට මතක් වුනා අප්සරා කෝල් ගන්න අකමැති වුනේ ඇයි කියලා.

සඳුන්ට මොකක්ද කරන්නෙ කියලා හිතාගන්න බැරුව ඉන්නකොට, එයාට මතක් වුනා රේඩියෝ වැඩසටහනකින් හඳුන්වා දුන්න සයිබර් ආරක්ෂාව සම්බන්ධ හිතවතී කියන උපකාරක සේවය ගැන. සඳුන් හිතවතී කියන නම ගූගල් සෙවුම් යන්ත්‍රයේ සර්ච් කළ විට හිතවතී වෙබ්අඩවියෙන් චැට් කරන්න පුළුවන් කියලා එයා හොයාගත්තා. සඳුන් හිතවතී සමග සම්බන්ධ වී ඔහුගේ ගැටළුව ඉදිරිපත් කරා. ව්‍යාජ ගිණුම් හරහා බහුලව සිදුවන වංචා පිළිබඳ හිතවතී සඳුන්ව දැනුවත් කරා. ඒ වගේම මෙසේ සිදු වූ එකම පුද්ගලයා ඔහු නෙවේ කියලත් සඳහන් කරා. ඒ වගේම හිතවතී සඳුන්ට කිව්වා මෙම පුද්ගලයා සමඟ සම්බන්ධතා පැවැත්වීමෙන් හෝ මුදල් ඉල්ලා සිටියහොත් ලබා දීමෙන් වළකින ලෙස. තවදුරටත් ඔහුට අදාළ පුද්ගලයාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය නම්, අපරාධ විමර්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) සමාජ මාධ්‍ය පැමිණිලි අංශයට තර්ජනාත්මක පණිවිඩ සාක්ෂි ලෙස ඉදිරිපත් කරමින් පැමිණිල්ලක් යොමු කරන්න කියලත් උපදෙස් දුන්නා. හිතවතී ලබා දුන් උපදෙස් සම්බන්ධයෙන් සඳුන් ගොඩාක් ස්තූති කළ අතර මේ වගේ හිරිහැරකාරී සිද්ධීන්වලට ලංකාවේ පිහිටක් නැහැ කියලා තමා සිතා සිටි බව පැවසුවා.

පූර්වාරක්ෂක ඉඟි:

  • සමාජ මාධ්‍ය ජාලවල ව්‍යාජ ගිණුම් ඉතා බහුල බැවින් ප්‍රවේශම් වන්න.
  • සමාජ ජාලා හරහා එන මිතුරු ඉල්ලීම් හොඳින් තෝරා බේරා ගන්න; ඔබ ඇත්තටම යම් පුද්ගලයෙක්ව හඳුනන්නේ නැත්නම්, ඔහු / ඇය විසින් එවන මිතුරු ඇරයුම්වලට ප්‍රතිචාර දැක්වීමෙන් වළකින්න.
  • කිසිවිටෙක ඔන්ලයින් නාඳුනන අය (online strangers) සමඟ පෞද්ගලික ඡායාරූප බෙදා නොගන්න (ශෙයා නොකරන්න).
  • ඔබට තර්ජනයක් හෝ බ්ලැක්මේල් කිරීමක් සිදු වුවහොත්, බ්ලැක්මේලර්ගේ ඉල්ලීම් ඉටු කිරීමට, කිසිවිටකත් උත්සාහ නොකරන්න.