අවසන් වරට යාවත්කාලීන කලේ 2023/08/18

නාලිකා විවාහක කාන්තාවක්. ඒ වගේම ළඟදී අවුරුදු 5 ක් ලබපු එයාගෙ දුවත් එක්ක නාලිකා ගත කළේ හරිම කාර්යබහුල ජීවිතයක්. එයා සාමාන්‍යයෙන් උදෙන්ම නැගිටලා, කෑම හදලා දුවව අම්මලාගෙ ගෙදර දාලා තමයි රැකියාවට පිටත් වුණේ. හවසට සාමාන්‍යයෙන් නාලිකාගෙ සැමියා අම්මලාගෙ ගෙදරින් දුවව අරන් එන්න පුරුදු වෙලා හිටියා. නාලිකා ඊට කලින් ගෙදර ඇවිත් ඉන්නවා. පොඩි හරි විවේකයක් ලැබුන මේ වෙලාවට නාලිකා සිංදු අහනවා, පොඩ්ඩක් ටීවී බලනවා ඒ වගේම ෆේස්බුක් එකේ යාළුවො එක්ක මැසෙන්ජර් හරහා චැට් කරනවා.

නාලිකා ෆේස්බුක් එකේ අත්කම් නිර්මාණ සඳහා තියන පිටු වලට උනන්දුවක් දැක්වූවා. එයාට දවසක් මැසෙන්ජර් අත්කම් ගෲප් එකකට එකතු වෙන්න කියලා ඉල්ලීමක් ආවා. නාලිකා ඒ ගෲප් එකට එකතු වෙන්න දෙපාරක් හිතුවේ නැහැ. එදා රෑ නාලිකා දැක්කා ඒ ගෲප් එකේ කෙනෙකුගෙන් කෝල් එකක් ඇවිත් තියනවා. නාලිකා ඒ ගැන එච්චර හිතුවේ නෑ මොකද එයා කලබලෙන් රෑ කෑම හද හද හිටිය නිසා.

නාලිකා නිදාගන්න යනකොට ආයෙත් එයාට අර කෝල් එක ආවා. මේ සැරේ නම් එයා කෝල් එක ගත්තා. එයා අඳුරන්නෙ නැති කෙනෙක් තමයි එහා පැත්තෙ හිටියෙ.

නාඳුනන පුද්ගලයා: හෙලෝ කොහොමද?

නාලිකා: ඔයා කවුද?

නාඳුනන පුද්ගලයා: ඉන්න, වීඩියෝ කෝල් එකක් ගමු

නාලිකා: ඒත් ඔයා කවුද?

නාඳුනන පුද්ගලයා කෝල් එක කට් කරා…

ඊට පස්සේ දවසේ නාලිකා සැමියා එක්ක පාටියකට ගියා. එදා රෑ නාලිකාට ආයෙත් අර මනුස්සයගෙන්ම කෝල් එකක් ආවා.

නාඳුනන පුද්ගලයා: මේ ඔයාට වීඩියෝ එක ඔන් කරන්න පුළුවන්ද? වැදගත් දෙයක් කියන්න තියනවා ඒකයි.

නාලිකා අන්තිමේදී වීඩියෝ එක ඔන් කරා.

නාඳුනන පුද්ගලයා: ඔයා ඔයාගෙ කලින් බෝයි-ෆ්‍රෙන්ඩ් එක්ක ඉන්න ෆොටෝ වගයක් මං ගාව තියනවා. මම ඒක හැමෝටම යවන්න ඉන්නේ.

මේක අහලා නාලිකා හොඳටම බය වුණා. නාලිකා බය වෙලා ඉන්නෙ කියලා මේ මනුස්සයාට තේරුණා. නාලිකාට ඕන වුණේ නෑ, එයාගෙ සැමියා තමන් කලින් යාළුවෙලා හිටිය පිරිමි ළමයා ගැන වගේම ඒ පරණ රහස් ප්‍රේමය ගැන දැනගන්නවාට.

නාඳුනන පුද්ගලයා: හරි.. ඒවා කාටවත් යවන්න කැමති නැත්නම් මම කියන දේ කරන්න ඕන.

එතකොට නාලිකා බයේ ගැහුනා.

නාඳුනන පුද්ගලයා: මම ඔයාට තව ටිකකින් ආයෙ කතා කරන්නම්, එතකොට ඔයා වීඩියෝ එක ඔන් කරලා ඔයාවයි මහත්තයාවයි හොඳට පේන තැනක ෆෝන් එක තියන්න. ඊට පස්සේ ඔයාට එයා එක්ක හැඟීම් ඇවිස්සෙන විදිහට හැසිරෙන්න තියෙන්නෙ. හැබැයි මේ දේ මහත්තයට කියන්න බෑ හරි?? කෙලින්ම කිව්වොත් එයා දැනගන්න බෑ ඔය දෙන්නගෙ ප්‍රේම රංගනය මම බලාගෙන ඉන්නවා කියලා.

මේ පහත් මිනිහා ඉල්ලපු දේ කරනවා ඇරෙන්න නාලිකාට වෙන කිසිම විසඳුමක් තිබ්බෙ නෑ.

නාලිකා: හරි

අන්තිමට නාලිකා මේ නරක මිනිහා කියපු දේ කරා. අනිත් පැත්තෙන් නාඳුනන පුද්ගලයා නාලිකාට හොරෙන් හැම දෙයක්ම රෙකෝඩ් කරා.

නාලිකා හිතුවා මේ මනුස්සයා මෙතනින් නවතියි කියලා. ඒ නිසා එයා වෙච්ච හැමදෙයක්ම අමතක කරලා පහුවදා වැඩට යන්න ලෑස්ති වුණා. වැඩට යන අතරතුර එයාට අර මනුස්සයාගෙන් තව කෝල් එකක් ආවා.

නාඳුනන පුද්ගලයා: මේ ඔයාට කොහොමද? මම මාර ආසයි ඔයාගෙ ක්ලිප් එකට

නාලිකා: ක්ලිප් එක කිව්වෙ?

නාඳුනන පුද්ගලයා: හා හා, මම ඒ හැමදෙයක්ම රෙකෝඩ් කරා. නිතරම වගේ මම ඒක බලනවා

නාලිකා: තමුසෙ මහ වනචරයෙක්

නාඳුනන පුද්ගලයා: ඔව් ඔව් ඔයා හරි, මම වනචරයෙක් තමයි. මම මේක හැමතැනම දානවා ළඟදීම

නාලිකා බයේ ගැහි ගැහි ෆෝන් එක පැත්තකට දැම්මා. වැඩට ගියත් එයාට හිත එක තැනක තියාගෙන වැඩ කරන්න බැරි වුණා. එයා ඔහේ බලන් හිටියා. නාලිකාගෙ මේ වෙනස කාන්තාවක් වූ ඇගේ ප්‍රධානියාට තේරිලා ඇය නාලිකාට කතා කරා. නාලිකා හැමදෙයක්ම ප්‍රධානියාට කිව්වා. ඒ වෙලාවේ ප්‍රධානියාට රේඩියෝ වැඩසටහනක දී කිව්ව හිතවතී ගැන මතක් වෙලා නාලිකාට ඉක්මනින්ම හිතවතී ට කතා කරන්න කියලා ඇය කිව්වා. නාලිකා හරිම බයෙන් හිතවතී ට කතා කරා. සිදු වූ හැමදෙයක්ම එයා හිමින් හිතවතී ට කිව්වා. හිතවතී නාලිකාට කිව්වා එයාට තර්ජනය කරන ෆේස්බුක් ගිණුම රිපෝට් කරලා බ්ලොක් කරන්න කියලා. ඒ වගේම තර්ජනය කරන පුද්ගලයා එක්ක කිසිම කතාවක් තියාගන්න එපා කියලත් ඇයට උපදෙස් දුන්නා. තවදුරටත් ඇයට අදාළ පුද්ගලයාට දඬුවම් කිරීමට (එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට) අවශ්‍ය නම්, අපරාධ විමර්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) සමාජ මාධ්‍ය පැමිණිලි අංශයට පැමිණිල්ලක් යොමු කරන්න කියලත් උපදෙස් දුන්නා. අවසාන වශයෙන් ඇයට සවන් දී ඇයගේ මනස සන්සුන් කර ගැනීමට නිවැරදි උපදෙස් ලබා දීම සම්බන්ධව නාලිකා හිතවතීට බෙහෙවින් ස්තූතිවන්ත වුණා.

පූර්වාරක්ෂක ඉඟි:

  • විවිධ සමූහ (ගෲප්) පිළිබඳ විස්තර (ගෲප් ඇඩ්මින්, ඔවුන් කතා කරන විෂයයන්, අනෙකුත් සාමාජිකයින් යනාදිය) නිසි ලෙස සොයා නොබලා ගෲප්වලට එකතු නොවන්න.
  • තර්ජනය (බ්ලැක්මේල්) කරන්නන්ගේ ඉල්ලීම් තෘප්තිමත් කිරීම සඳහා ඔවුන් සමඟ සාකච්ඡා කිරීමට උත්සාහ නොකරන්න.
  • ඔබ කෙතරම් අපහසුතාවයට පත් වුවද (දේවල් නරක අතට හැරීමට පෙර) විශ්වාසදායක පාර්ශවයකින් හෝ නීතිමය ආයතනයකින් වහාම උපදෙස් ලබා ගන්න.
  • තර්ජනය කරන්නන් (කප්පම් කරුවන්) සමාජ මාධ්‍ය හරහා ඔබ වෙත ළඟා වන්නේ නම්, ඔවුන්ගේ ගිණුම් වාර්තා (රිපෝට්) කර අවහිර (බ්ලොක්) කරන්න.
  • සයිබර් අපරාධයක් සම්බන්ධව පැමිණිල්ලක් ඇත්නම් ඒ බව පැහැදිලිව අදාළ සාක්ෂි (නිවැරදි ලින්ක්, ස්ක්‍රීන්ෂොට් යනාදිය) සහිතව සඳහන් කර CID එකට ගොස් භාර දිය හැක. නැතහොත් ලියාපදිංචි තැපෑලෙන් “අධ්‍යක්ෂ, අපරාධ විමර්ෂණ දෙපාර්තමේන්තුව, කොළඹ 01” යන ලිපිනයට හෝ ඊමේල් හරහා dir.ccid@police.gov.lk වෙත පැමිණිල්ල යොමු කළ හැක.