අවසන් වරට යාවත්කාලීන කලේ 2026/06/26

සාරථී වෙනදට වඩා සාමකාමී දවස් ටිකක් ගෙවමින් හිටියේ. මොකද මේ එයාගේ විශ්ව විද්‍යාලයේ නිවාඩු දින ටික. ඇය ඇයගේ ජීවිතයේ වැඩියෙන්ම ඉන්න ආසම පරිසරයේ සුන්දරත්වය විඳිමින් හිටියේ. ඒ තමයි ඇයගේ ගම.
දවසක් උදේම ඇය පුරුදු විදියටම ෆෝන් එක බැලුවා.
මිස් කෝල් 17ක්???? සාරථි එකපාරටම කලබල වුණා. මෙච්චර කෝල් ගොඩක් දන්නේ නැති නම්බර් එකකින්.
සාරථී වැඩි වෙලාවක් ගන්නේ නැතුව ඒ අංකයට කෝල් ගත්තා.
සාරථී: “හෙලෝ.. කවුද මේ?? මට මිස් කෝල් වගයක් තිබුණා”
නාඳුනන පුද්ගලයා: “හෙලෝ.. සාරථී මං දමිත්”
සාරථී: “දමිත් කිව්වේ???” සාරථී පුදුමයෙන් ඇහුවා.
නාඳුනන පුද්ගලයා: “දමිත් අනේ.. තුල්වාන්ගේ යාළුවා.. බෝඩිමේ”
සාරථී: “ආහ් ඔව් කියන්න.. කෝ තුල්වාන්? ඇයි මේ???”
නාඳුනන පුද්ගලයා: “හරි හරි කලබල වෙන්න එපා.. තුල්වාන් හොඳින්.. ඊයේ පොඩ්ඩක් පාටිය රෑ වෙනකන් ගියා.. දන්නැද්ද ඉතින්”
සාරථී: “පාටියක්??? මට තුල්වාන් කිව්වේ නෑනේ එහෙම දෙයක්”
නාඳුනන පුද්ගලයා: “හරි හරි දැන් කොල්ලව කන්න හදන්න එපා. මේ පොඩි පාටියක්.. කියන්න තරම් දෙයක් තිබ්බේ නෑ.”
සාරථී: “එහෙමද… හරි කෝ දැන් තුල්වාන්”
නාඳුනන පුද්ගලයා: “එයා නිදි.. තුල්වාන්ට හෙට වැඩ නේද?”
සාරථී: “ඔව්.. ඇයි?”
නාඳුනන පුද්ගලයා: “ආා ඒකනේ අපි තව ටිකකින් අපේ ශිෆ්ට් එකට යනවා… තුල්වාන්ට නින්ද ගියොත් වැඩට යන්න ඇහැරෙන එකක් නෑ. අපි බැලුවේ එයාගේ ෆෝන් එකේ එලාම් එක තියලා යන්න.. හැබැයි පාස්වර්ඩ් එක දන්නෑ මං..”
සාරථී: “එතකොට මොකද කරන්නේ?”
නාඳුනන පුද්ගලයා: “ඔයා දන්නවනම් කියන්න සාරථී. මං එලාම් තියලා යන්නම්.”
මේ වෙලාවේ වැඩිය නොහිතා සාරථී පාස්වර්ඩ් එක දමිත්ට කිව්වා.
නාඳුනන පුද්ගලයා: “තැන්කිව් සාරථී.. මං එලාම් එක තියන්නම්”
මෙහෙම කියලා දමිත් ෆෝන් එක තිබ්බා.
තුල්වාන් ඇහැරිලා සුපුරුදු පරිදි සාරථීට කෝල් එකක් ගත්තා. සාරථී ඔක්කොම විස්තර ටික කිව්වා.
තුල්වාන්: “කවුරු කිව්වා?? දමිත් කියලා කෙනෙක් මං දන්නෙවත් නෑ. එහෙම කවුරුත් මාත් එක්ක බෝඩිමේ නෑනේ..”
සාරථී මෙහෙම කියද්දී කල්පනා කළා මොකක්ද වුණේ කියලා. හැබැයි ඒ වෙලාවේ ඒක නිකන්ම නිකන් කතාවක් විතරක් වුණ නිසා දෙන්නම ඒ ගැන ආයේ හිතුවේ නෑ.
සතියකට විතර පස්සේ තුල්වාන්ගේ ෆෝන් එකේ තිබුණ සාරථීගෙයි තුල්වාන්ගෙයි පෞද්ගලික වීඩියෝ කීපයක් ටික්ටොක් ෆේක් එකවුන්ට් එකක පෝස්ට් කරලා තිබුණා. මේක තුල්වාන්ගේ වගේම සාරථීගෙත් දන්න අඳුනන හැමෝටම ශෙයා වෙලා තිබ්බේ.
මේ නිසා සාරථී එයාගේ පාඩම් වැඩත් අතරමග නතර කරලා දවසම හිටියේ පීඩනයෙන්. සාරථීගේ හොඳම යාළුවත් මේ ප්‍රශ්නෙට විසඳුමක් හොයන ගමන් හිටියේ. ඒ අතරේ තමයි යාළුවා හිතවතී වෙබ්සයිට් එක දැක්කේ. ඉතින් ඇය ඉක්මනින්ම සාරථීට හිතවතී ගේ තොරතුරු යැව්වා.
හිතවතී සමඟ සම්බන්ධ වුණ සාරථීට එම ෆේක් ටික්ටොක් ගිණුම රිපෝට් කර ඉවත් කරගැනීමට හිතවතී උදව් වුණා. ඒ වගේම වහාම අදාළ ගිණුම්වල පාස්වර්ඩ් වෙනස් (reset) කරන ලෙස තුල්වාන්ට දැනුම් දෙන්න කිව්වා. ඊට අමතරව, කිසිම විදිහකින් නොදන්නා අය එක්ක තමන්ගේ පෞද්ගලික තොරතුරු ශෙයා කරගන්න එපා කියලත් හිතවතී පැහැදිලි කළා.
පූර්ව ආරක්ෂණ උපදෙස්
- ඔයාගේ පාස්වර්ඩ් / OTP / PIN අංක හෝ වෙනත් පෞද්ගලික තොරතුරු කිසිවිටෙකත් බෙදා නොගන්න.
- කතා කරන පුද්ගලයා දන්න අයෙක් වුණත්, තහවුරු කරගන්න.
- ශක්තිමත් පාස්වර්ඩ් භාවිතා කරන්න.
- ව්‍යාජ ගිණුම් වහාම රිපෝට් කරන්න.
- සැක සහිත අන්තර්ජාල සිදුවීම් වලදී හිතවතී සමඟ සම්බන්ධ වන්න.
