අවසන් වරට යාවත්කාලීන කලේ 2024/04/25

මෙහි එන නම් ගම් මනඃකල්පිතයි.

පිටරට උසස් අධ්‍යාපන පාඨමාලාවක් හැදැරීම සඳහා පියුමිට සල්ලි වගයක් ඕන වුණා. පිළිගත් විදේශීය අධ්‍යාපන ආයතනයක් මඟින් තමයි මේ පාඨමාලාව ඉදිරිපත් කරේ. ඒත් රටේ පැවති ආර්ථික තත්ත්වය සමඟ මුදල් ඒකකයේ ප්‍රශ්නයක් ඇති වූ නිසා ඩොලර් සොයා ගැනීම හිතපු තරම් ලේසි වුණේ නැහැ. එයා මේ ගැන කියලා යාළුවොන්ගෙන් උදව් ඉල්ලලා ෆේස්බුක් එකේ පෝස්ට් එකක් දැම්මා.

දවසක් පියුමිගෙ වට්ස්ඇප් එකට මැසේජ් එකක් ආවා එයාට හරිම ලේසියෙන් රුපියල් ඩොලර් වලට හරවගන්න පුළුවන් කියලා. පියුමිට කරන්න තිබුණේ ඒ අය කියන බැංකුවට අවශ්‍ය සල්ලි ප්‍රමාණය රුපියල් වලින් දාන්න විතරයි. ඔවුන්ගේ නියෝජිතයෙක් දිනක් තුළ ඩොලර් නෝට්ටු රැගෙන ඇයව හමුවීමට එයි කියලා කිව්වා. වෙලාවෙ හැටියට පියුමිට හොඳම විදිය කියලා හිතුනෙ ඒක.

ඇය පණිවිඩය එවූ පුද්ගලයාට මැසේජ් කළා. ඒ වට්ස්ඇප් ගිණුමේ නම තිබුණේ ABC Money Exchange කියලා. පියුමි ඇහුවා ඔවුන්ගේ ඔෆිස් එකට එන්න ඕනද කියලා. ඔවුන් කිව්වා එහෙම ඕන වෙන්නෙ නෑ කියලා. ඔවුන්ගේ විශේෂ අනුපාතයට අනුව ඩොලර් 1 ක් රුපියල් 280 කට දෙන්න පුළුවන් කියලත් කිව්වා. පියුමිට පුදුම සැනසීමක් ඇති වුණේ මේක අහලා.

පියුමි මුලින් රු.14000/- ක් ඔවුන් කිව්ව ගිණුමට දැම්මා. එයා ඔවුන්ගේ නියෝජිතයා එනතුරු දවසකටත් වැඩිය බලාගෙන ඉඳලා වට්ස්ඇප් මැසේජ් එකක් යැව්වා. ඒකටත් එයාට පිළිතුරක් ලැබුනේ නෑ. අන්තිමේදී පියුමි ඔවුන්ට කෝල් කරන්න උත්සාහ කරා. එයාට තේරුණා එයාව බ්ලොක් කරලා කියලා.

පියුමිට ගොඩක් දුක හිතුණා වෙච්ච වැඩේට. පියුමි එයාගෙ අයියාට කිව්වා මේ සිද්ධිය ගැන. අයියා පියුමිට කිව්වා හිතවතීට කතා කරලා බලන්න කියලා. පියුමි සම්පූර්ණ විස්තරයම හිතවතීට කිව්වා. මුලින්ම හිතවතී මේ දවස්වල සිදුවන එවැනි වංචා (ස්කැම්) ගැන පියුමිට කිව්වා. ඒ වගේම අදාළ වට්ස්ඇප් අංකය රිපෝට් කරන විදිය ගැන (වංචාව ඔප්පු කිරීමට අදාළ චැට්වල ස්ක්‍රීන්ශොට් සමඟ), හිතවතී පියුමිට පැහැදිලි කරා. තවද ඔන්ලයින් පොලිස් පැමිණිල්ලක් (අදාළ සාක්ෂි අමුණා) යොමු කරන විදියත් කියලා දුන්නා.

 

පූර්වාරක්ෂක ඉඟි:

  • ඔබ හා සම්බන්ධ වීමට උත්සාහ කරන පුද්ගලයින්ගේ අනන්‍යතාවය තහවුරු කරගන්න.
  • වඩා හොඳ සහ ආකර්ෂණීය යැයි පෙනෙන දේවල් ගැන (ඒවා වංචා විය හැකි බැවින්) සැලකිලිමත් වන්න.
  • මුදල් හුවමාරු කිරීමට පෙර, එම ආයතනය මහ බැංකුව විසින් අනුමත කර ඇත්දැයි දැන ගන්න.
  • ඔබ කිසියම් වංචාවකට මුහුණ පා ඇත්නම්, උපදෙස් සඳහා හිතවතී අමතන්න. ඒ වගේම වත්මන් වංචා පිළිබඳව දැනුවත් වන්න. (https://www.hithawathi.lk/si/help-center-si/real-time-cases-si/#Scam).
  • නීතිමය උපකාර ලබා ගැනීම සඳහා අදාළ පොලිස් ස්ථානය වෙත ගොස් හෝ TELL IGP හරහා ඔන්ලයින් පැමිණිල්ලක් ගොනු කරන්න.