අවසන් වරට යාවත්කාලීන කලේ 2022/10/07

මෙහි එන නම් ගම් මනඃකල්පිතයි.

සවිනු A/L ප්‍රතිඵල ආවට පස්සේ ජොබ් එකක් හොය හොය හිටියේ. එයා එක එක ජොබ් වලට ඉල්ලුම්පත්‍ර දැම්මා. දවසක් එයාට වට්ස්ඇප් මැසේජ් එකක් ආවා එයා දාපු ජොබ් එකකින්.

සවිනුට මේක දැකලා මාර සතුටක් ආවේ. එයා ඒ කොම්පැනියෙන් තව තව විස්තර අහන්න ගත්තා. සවිනුට ඔන්ලයින් ඉන්ටවිව් එකකුත් තිබ්බා. ඊළඟ දවසෙම වැඩ පටන් ගන්න කියලා එයාලා කිව්වා. මාසෙකට පස්සෙ එයාට රැකියාව පිරිනමන ලිපිය (offer letter) දෙනවා කිව්වා.

සවිනු සතුටෙන් වැඩ භාර ගත්තා. මෙහෙම යනකොට සති කීපයකට පස්සේ සවිනුට එයා‌ගේ බැංකුවෙන් කෝල් එකක් ආවා. අසාමාන්‍ය ලෙස රුපියල් 5000/- නෝට්ටු, මිනිස්සු නිතර එයාගේ බැංකු ගිණුමට දානවා කියලා තමයි එයාලා කිව්වේ.

සවිනු මේ ගැන කල්පනා කරා. එතකොට එයාට මතක් වුනා එයා ගිණුම් තොරතුරු දුන්නේ මේ අලුත් කොම්පැනියට විතරයි කියලා. ඒ නිසා මේ ගැන එයාලගෙන් ඇහුවා.

කොම්පැනියෙන් කිව්වා සවිනුගේ ෆෝන් එකේ ඇප් එකක් ඉන්ස්ටෝල් කරන්න කියලා. ඊට පස්සේ ඔක්කොම සල්ලි ටික ඒ ඇප් එකෙන් ක්‍රිප්ටො කරලා එවන්න කිව්වා. මේ වෙලාව වෙන කොට සවිනුගේ ගිණුමේ රු. මිලියන 11 ක් විතර තිබ්බා. සවිනු කිව්ව විදියට වැඩේ කරා.

පහුවදා කොම්පැනියේ කවුරුවත් සවිනුට කිසිම වැඩකට කථා කලේ නෑ. එයාගේ පඩියවත් හම්බ වෙලා තිබ්බෙ නැති නිසා කොම්පැනියෙ අයට කථා කරන්න සවිනු උත්සාහ කරා. ඒත් කවුරුවත් ෆෝන් ආන්සර් කළෙත් නෑ.

සවිනුට මොකක්ද කරන්නෙ කියලා හිතා ගන්නවත් බැරි වුනා. එයා වට්ස්ඇප් මාර්ගයෙන් හිතවතී ට කතා කරලා සිදු වූ සියල්ල කිව්වා. මේ දවස්වල අන්තර්ජාලය හරහා සිදු වන මුදල් වංචාවකට සවිනු හසු වී ඇති බැව් හිතවතී පැහැදිලි කලා. එතකොට සවිනුට තේරුනා එයා සල්ලි නිසා රැවටිලා හිටියේ කියලා. සවිනු ගාව තියන සාක්ෂි එක්ක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමාජ මාධ්‍ය ඒකකයට පැමිණිල්ලක් කරන්න කියලත් හිතවතී උපදෙස් දුන්නා.

පූර්වාරක්ෂක උපදෙස්:

  • ඔබ රැකියාව කිරීමට බලාපොරොත්තු වන ස්ථානය පිළිබඳ හොඳින් සොයා බලන්න.
  • රැකියා වංචා මේ දිනවල ඉතා කුප්‍රකට බැවින් ඒ ගැන සැලකිලිමත් වන්න.
  • වංචාවන් ඔබ වෙත ඉතා ආකර්ශනීය ආකාරයෙන් පැමිණෙන බැවින් ඒ පිළිබඳව දෙපාරක් තුන්පාරක් සිතන්න.
  • සයිබර් අපරාධයක් සම්බන්ධව පැමිණිල්ලක් ඇත්නම් ඒ බව පැහැදිලිව අදාළ සාක්ෂි (නිවැරදි ලින්ක්, ස්ක්‍රීන්ෂොට් යනාදිය) සහිතව සඳහන් කර CID එකට ගොස් භාර දිය හැක. නැතහොත් ලියාපදිංචි තැපෑලෙන් “අධ්‍යක්ෂ, අපරාධ විමර්ෂණ දෙපාර්තමේන්තුව, කොළඹ 01” යන ලිපිනයට හෝ ඊමේල් හරහා dir.ccid@police.lk වෙත පැමිණිල්ල යොමු කළ හැක.