අවසන් වරට යාවත්කාලීන කලේ 2022/10/07

මෙහි එන නම් ගම් මනඃකල්පිතයි.

පාසැල් අධ්‍යාපනය අවසන් වූ සුනෙත්ට තම මිතුරන් සමඟ එළියට ගොස් විනෝද වීමට කැමැත්තක් තිබුණද ඔහු රැකියාවක් නොකළ නිසා ඊට අවශ්‍ය මුදල් තිබුණේ නැහැ. ඒ සඳහා දෙමව්පියන්ගෙන් මුදල් ඉල්ලීම හරි නැති බව ඔහුට හැඟුණා.

සුනෙත් ​​ඉක්මනින් සල්ලි හොයන ලේසි රැකියා හොයමින් සිටියදී, අදහා ගත නොහැකි ෆේස්බුක් පෝස්ට් එකක් ඔහුගේ ඇස ගැටුණා. එහි කියා තිබුණේ සල්ලි ඕනේ අයට ඉන්බොක්ස් (මැසේජ්) කරන ලෙස පමණයි.

සුනෙත්ට මේ නිධානය ගැන පොඩි කුතුහලයකුත් ඇති වුණා. ඔහු එය උත්සාහ කර බැලීමට ඔවුන්ට පණිවුඩයක් යැවූ අතර එහි ප්‍රේමනීය විදිහට චැට් කරන්නේ ගැහැණු ළමයෙක් කියා ඔහුට තේරුණා. ඇය සුනෙත්ගේ නම, ලිපිනය සහ බැංකු ගිණුම් අංකය වැනි පුද්ගලික තොරතුරු විමසුවා. ඉන් පසු ඇය රුපියල් 5000/- ක් තැන්පත් (ඩිපොසිට්) කිරීම සඳහා සුනෙත්ගේ බැංකු කාඩ්පතේ දෙපැත්තේ ඡායාරූප එවන්න කිව්වා.

ලංකාවේ බැංකු ගිණුමකට සල්ලි දාන්න ගිණුම් අංකය විතරක් ප්‍රමාණවත් බව දැන සිටි සුනෙත් ඔහුගේ ATM කාඩ්පතේ දෙපැත්තෙම ෆොටෝ ඕනේ වෙන්නේ මොන මඟුලට දැයි සිතා බැලීමට තරම් තාර්කික වුණා. අන්තර්ජාලය හරහා විවිධ දේවල් සඳහා මුදල් ගෙවීමේදී කාඩ්පතේ පිටුපස ඇති අකුරු තුනේ කේතය (කෝඩ්) ඉතා වැදගත් බව ඔහු දැන සිටියා; එබැවින් මෙය පරිත්‍යාග මුවාවෙන් මිනිස්සුන්ගේ තියන සල්ලිත් හොරකම් කිරීම අරමුණු කරගත් වංචාවක් බව වැටහුණා.

සුනෙත් ​​ආරක්ෂිතව උගුලෙන් නිදහස් වීම ගැන සතුටු වුනත්, මෙලෙස දුප්පත් පිරිමි ළමයින්ව නොමඟ යවා ඔවුන්ගේ කාඩ්පත්වල තිබූ සල්ලි පවා අහිමි කරවන එම වංචාවෙන් ඔවුන්ව බේරා ගැනීමට ඔහුට අවශ්‍ය වුණා. අනන්‍යතා සොරකමට (අයිඩෙන්ටිටි තෙෆ්ට්) මෙන්ම ATM කාඩ්පත්වල අනුපිටපත් (කොපි) සෑදීමට යනාදී වංචනික ක්‍රියාකාරකම් සඳහා ඔවුන්ගේ දත්ත පවා අනිසි ලෙස භාවිතා කළ හැකි බව තේරුම් ගත් සුනෙත් මේ වංචාව (ස්කෑම්) පිළිබඳව අදාළ සබැඳි (ලින්ක්) සහ තිරපිටපත් (ස්ක්‍රීන්ෂොට්) සහිතව හිතවතී උපකාරක සේවයට දැනුම් දුන්නා. පළමුව හිතවතී විසින් එම පෝස්ට් එක ඉවත් කිරීම සඳහා ෆේස්බුක් ආයතනය වෙත ඒ ගැන ඍජුවම වාර්තා (රිපෝට්) කළ අතර ඔහුගේ ඉල්ලීම පරිදි මෙම සයිබර් වංචාව පිළිබඳව සමාජය දැනුවත් කිරීමට පොරොන්දු වුණා. තම කතාව ප්‍රකාශයට පත් කිරීමට අවශ්‍ය කටයුතු කිරීම ගැන සුනෙත් ​​හිතවතී වෙත ස්තූතිය පුද කළ අතර මෙම අන්තර්ගතය සිය අවධානයට යොමු කිරීම ගැන හිතවතී ඔහුට ප්‍රශංසා කළා.

පූර්ව ආරක්ෂක උපදෙස්:

  • මෙවැනි වංචනික පෝස්ට් හරහා ඉල්ලා සිටින ඔබේ පුද්ගලික තොරතුරු ලබා නොදෙන්න. (මුදල් තැන්පතුවක් කිරීමට බැංකු කාඩ්පතේ දෙපස ඡායාරූප අවශ්‍ය නොවේ)
  • එවැනි පෝස්ට් බෙදා ගැනීමෙන් (ශෙයා කිරීමෙන්) වළකින්න.
  • මේ ආකාරයේ වංචා (ස්කෑම්) වාර්තා (රිපෝට්) කරන්න; අවශ්‍ය නම් සහය සඳහා හිතවතී අමතන්න.