අවසන් වරට යාවත්කාලීන කලේ 2024/04/19

මෙහි එන නම් ගම් මනඃකල්පිතයි.

සිතුමිට ඩිජිටල් අලෙවිකරණ නියෝජිත ආයතනයකින් වට්ස්ඇප් මැසේජ් එකක් ආවා ඔන්ලයින් ජොබ් එකක් ගැන කියලා. එයාගේ නම්බර් එක අරගත්තේ ඔන්ලයින් රැකියා සම්බන්ධ වෙබ්අඩවියකින් කියලා ඒ නියෝජිතයා කිව්වා. සිතුමි හිතුවා ගෙදර ඉඳන් සල්ලි හම්බ කරන්න පුළුවන් හොඳම විදිය මේක තමයි කියලා. ඉතින් එයා තව විස්තර ඇහුවා.

සිතුමි: මේ ජොබ් එකේ මොකක්ද මට කරන්න තියෙන්නෙ?

නියෝජිතයා: ඒකෙන් ඔයාට යන්න පුළුවන් IMDb
ශ්‍රේණිගත කිරීම් වලට. එතන ඔයා ෆිල්ම් එකක් තෝරන්න. ඊට පස්සේ “දැනටමත් නරඹා ඇත” හෝ “නැරඹීමට අවශ්‍යයි“ කියන දෙකෙන් එකක් තෝරලා ස්ක්‍රීන්ෂොට් එකක් අපිට එවන්න. එක ස්ක්‍රීන්ෂොට් එකකට රු.150/- ගානෙ ගෙවීමක් කරනවා. තුනක් එව්වොත් රු.450/- ක් ඔයාගෙ ගිණුමට දානවා. ට්‍රයි කරලා බලමු මේ ලින්ක් එකෙන් xxxxxxxxxxxxxx
සිතුමි: හරි

නියෝජිතයා කිව්ව විදියට සිතුමි ලින්ක් එක ක්ලික් කරා. පළමු උත්සාහය සාර්ථක වුණා. සිතුමි අදාළ ආයතනයෙන් හදපු ටෙලිග්‍රෑම් ගෲප් එකකටත් එකතු වුණා. ගෲප් එකේ හිටපු අය සල්ලි ලැබුන ස්‍ක්‍රීන්ෂොට් ශෙයා කරගත්තා. සිතුමිගෙ විශ්වාසය තව තවත් වැඩි වුණා. එයත් කියපු විදියට ස්ක්‍රීන්ෂොට් යැව්වාම සල්ලි ලැබුණා. එයා දිගටම මේ දේ කරලා සල්ලි හොයාගත්තා.

නියෝජිතයා: : ඔයා නියමෙට වැඩේ කරනවා. අලුත් වැඩක් එක්ක අපි ඔයාව VIP ගෲප් එකකට එකතු කරනවා. අපි එවන ලින්ක් එක ක්ලික් කරලා මොකක් හරි බඩුවක් ගන්න. ඒකෙ මිල රු.5000/- ක් නම් ඒක ඔයා ගත්තට පස්සේ අපි රු.6500/- ක් ඔයාගෙ ගිණුමට දානවා.

සිතුමි ඒ ගෲප් එකට එකතු වුණා. ඒකෙ හිටපු කට්ටිය ලක්ෂ 10-15 බඩු ගත්තා. හැමෝටම වියදම් කරපු ගානට වඩා වැඩි ආදායමක් හම්බවෙලා තිබ්බා. සිතුමිත් රු.5000/- ක් වටිනා භාණ්ඩයක් ගත්තා. පොරොන්දු වූ ගෙවීමත් ලැබුණා. එයාට ගොඩක් සතුටු හිතුනා.

ඊට පස්සේ එයා රු.32,000/- ක භාණ්ඩයක් ගත්තා හැබැයි ඒකට එයාට ගෙවීමක් ලැබුනේ නැහැ. ඉතිං සිතුමි ඒ ගැන අහලා බැලුවා.

නියෝජිතයා: : පොඩි වැරදීමක් වෙලා. තව එකක් ගන්න රු.32,000/- ක. ඊට පස්සේ අපි ගෙවන්නම්.

සිතුමි ඒක මිලදී ගත්තා. ඒත් ගෙවීම වුණේ නැහැ. එයා ආයෙත් අහලා බැලුවා ඒ ගැන.

නියෝජිතයා: : ඔයා හරියට උපදෙස් පිළිපැදලා නැහැ. රු.32,000/- ක් වටිනා භාණ්ඩ දෙකක් ගන්න නැත්නම් එකපාරම රු.93,000/- එකක් ගන්න. උපදෙස් ටික හරියට කියවන්න.

ළඟදි ලෝන් එකක් ගත්ත නිසා සිතුමි ගාව සල්ලිත් තිබුණා. අදාළ නියෝජිතයා කියපු විදියට ගෙවීමක් ලැබෙයි කියලා හිතලා සිතුමි රු.93,000/- ක භාණ්ඩයක් මිලදී ගත්තා. ඒකටත් කිසිම ගෙවීමක් වුනේ නැහැ. නියෝජිතයා හැමතිස්සෙම සිතුමිට ගන්න කිව්වෙ ගොඩක් මිල ගණන් වැඩි භාණ්ඩ.

නියෝජිතයා: : ඔයා උපදෙස් ටික හරියට කියවලා නැහැ. තව රු.93,000/- ක භාණ්ඩයක් ගන්න, අපි ලක්ෂ 5 ක් ගෙවන්නම්.

මේ වෙලාවෙ සිතුමිට හිතුනා එයා රැවටීමකට ලක් වෙලා තියෙන්නෙ කියලා. එයා වහාම මේක නැවැත්වුවා. සිතුමිට ගොඩක් සල්ලි නැතිවුණා. ඒ නිසා එයා හිතවතී ට කතා කරා, එයාගෙ මහත්තයා කියපු විදියට.

සිතුමි එයාගෙ කථාව හිතවතී ට කිව්වා. ටෙලිග්‍රෑම්, වට්ස්ඇප් හරහා වෙන සුලභ වංචා (ස්කැම්) ගැන හිතවතී සිතුමිට පැහැදිලි කරලා දුන්නා. ඒ වගේම වංචාකාරී අලෙවිකරණ නියෝජිත ආයතනයට විරුද්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ පැමිණිල්ලක් යොමු කිරීමේ සහ එය වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් හරහා රිපෝට් කිරීමේ විකල්ප ක්‍රියාමාර්ග ගැන දැනුවත් කළා.

අවසානයේදී, ලබා දුන් මඟපෙන්වීමට සිතුමි ගොඩක් ස්තූතිවන්ත වුණා.

පූර්වාරක්ෂක ඉඟි:

  • ඇදහිය නොහැකි තරම් හොඳ යැයි පෙනෙන, ආකර්ෂණීය රැකියා ගැන විමසිලිමත් වන්න. (වැඩ ප්‍රමාණය හා සම්බන්ධ වගකීම් සඳහා වැටුප් සුවිශේෂී ලෙස ඉහළ නම්, එය බොහෝ විට වංචාවකි.)
  • කලින් කලට සුලබ වන සයිබර් වංචා ගැන සැලකිලිමත් වන්න. (https://www.hithawathi.lk/si/help-center-si/real-time-cases-si/#Scam)
  • ඔබ මුදල් වංචාවකට හසු වුවහොත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය (දුරකතන: 011 238 1045, ඊමේල්: dir.ccid@police.gov.lk) හෝ ශ්‍රී ලංකා පොලීසිය (ක්ෂණික ඇමතුම් අංකය – 119, TELL IGP – https://telligp.police.lk, වෙබ් අඩවිය: https://www.police.lk) හා සම්බන්ධ වන්න.
  • ඔබ කිසියම් වංචාවකට මුහුණ දුන්නේ නම්, සහාය සඳහා හිතවතී අමතන්න.