අවසන් වරට යාවත්කාලීන කලේ 2023/11/20

දවසක් උදේ වරුවේ හිතවතීට සිල්වා කියලා තාත්තා කෙනෙකුගෙන් ඇමතුමක් ආවා. ඔහුගේ කටහඬ කනස්සල්ලෙන් සහ බලාපොරොත්තු සුන්වීමෙන් වගේ වෙව්ලන්න වුණා. ඒ තාත්තා තම පවුලට මුහුණ දීමට සිදු වූ ගැටළුව හිතවතීට කියන්න තීරණය කරා.

සිල්වා මහතා: මිස්, මගේ දුව කැම්පස් එකේ. එයා හරිම දක්ෂයි. එයා කැම්පස් තේරුණ වෙලාවේ අපි හරියට සතුටු වුණා. හැබැයි, ඊයේ වෙච්ච මොකක් හරි අවුලක් නිසා එයා දැන් කැම්පස් යන්න බෑ කියනවා. කාමරේ අස්සටම වෙලා ඉන්නෙ. හැම තිස්සෙම දුකෙන් අඬ අඬා ඉන්නෙ. අපිට තේරෙන විදියට මේ ළමයා කම්ප්‍යුටරේ මොකකට හරි බය වෙලා ඉන්නෙ. අනේ අපිට මේකට උදව් කරන්න පුළුවන්ද?

හිතවතීට දැනුනේ හරිම සංවේදී හැඟීමක්. තත්ත්‍වයේ බරපතලකම තේරුම් ගත් හිතවතීට ඕන වුණේ මේ දුෂ්කර සිද්ධියට මුහුණ දුන් සිල්වා මහතාගේ දුවත් එක්ක කතා කරන්න. දෙමාපියන්ගේ බොහෝ බලකිරීම් වලින් පස්සේ ඇය අකැමැත්තෙන් වුනත් කතා කරන්න එකඟ වුණා.

හිතවතී: හෙලෝ ඔයාට පුළුවන්ද අපිට ඔයාගේ නම කියන්න?

තිලිණි: මම තිලිණි.

හිතවතී: තිලිණි ඔයාට පුළුවන් වෙයිද මොකක්ද උනේ කියලා අපිට කියන්න?

ටික වෙලාවක් තිලිණි සද්දයක් නැතුව හිටියා. ඊට පස්සේ එයා අඬන්න පටන් ගත්තා. බය නොවී ඉන්න කියලා හිතවතී තිළිණිට ඉතාම කාරුණිකව කිව්වා. ඊට ටික වෙලාවකට පස්සේ තිලිණි එයාට මුහුණ දෙන්න වුන ඒ අමිහිරි අත්දැකීම ගැන කියන්න පටන් ගත්තා.

තිලිණි: මිස් ඊයේ රෑ මම ලෙක්චස් ඉවර වෙලා ඇවිල්ලා අද භාරදෙන්න තියන පැවරුම් වගයක් කර කර හිටියෙ. ඒ වෙලාවේ අපේ සීනියර් බැච් එකේ ළමයෙක්ගෙන් මට ඉන්ස්ටග්‍රෑම් මැසේජ් එකක් ආවා. එයා කිව්ව දෙයින් මගේ ඇඟ හිරිවැටිලා ගියා. එයා කිව්වා මගේ නිරුවත් පින්තූර වැඩිහිටි වෙබ්සයිට් එකක දාලා තියනවා කියලා. ඒවා අයින් කරගන්න ඕන නම් මට ඇත්තටම තව ඒ වගේ පින්තූර ටිකක් එවන්න කිව්වා. මම හොඳටම බය වුණා. මොනවද කරන්නෙ කියලා හිතාගන්න බැරි වුණා. කැම්පස් එකෙන් දැනගත්තොත් මට ඩිග්‍රිය කරගන්න වෙන්නෙත් නැති වෙයි කිව්වා. මේකට වෙන කරන්න දෙයක් නෑ කියලා හිතුන නිසා මම එයාට පින්තූරයක් යැව්වා මිස්. මම හිතුවේ ඒක අපේ රහසක් වෙයි කියලා. මම හරි අවුලෙන් හිටියෙ මිස් ඒත් මම ඒක කොහොමහරි අමතක කරන්න හැදුවා, ඒ අක්කා මට උදව් කරයි කියලා හිතලා.

තිළිණි වෙව්ලන කටහඬින් තමන්ගේ හිතට වද දුන් පීඩාකාරී ගැටළුව මේ විදියට හිතවතීට කිව්වා.

තිලිණි: පහුවදා උදේ ඒ අක්කා මට කිව්වා එයාගෙ ඉන්ස්ටග්‍රෑම් ගිණුම හැක් කරලා කියලා. මට හිතාගන්න බෑ මේ වෙච්ච දේ. දැන් ඒ හැක් කරපු කෙනාටත් මම යවපු ප්‍රයිවට් පින්තූරය බලන්න පුළුවන්නෙ. මේක මට මහානපුරු හීනයක් වගේ. මොකක්ද කරන්නෙ කියලා මට හිතාගන්න බෑ. මට කැම්පස් යන්න හිතෙන්නෙත් නෑ. හැමදෙයක්ම එපා වෙලා තියෙන්නෙ.

තිලිණිගෙ මානසික පීඩනය තේරුම් ගත් හිතවතී ඇයට අවශ්‍ය උපදෙස් ලබා දුන්නා.

හිතවතී: තිලිණි මුලින්ම හිත සන්සුන් කරගන්න. කලබල වෙන්න එපා. ඒ වගේම අපි මේ පුද්ගලයාව වහාම රිපෝට් කරලා බ්ලොක් කරන්න ඕන. අදාළ පුද්ගලයා එක්ක කිසිම කතා බහකට යන්න එපා. ඔයාගෙ පින්තූර මොකක් හරි සමාජ මාධ්‍ය යෙදුමක අනිසි ලෙස පාවිච්චි වෙනවා නම්, ඒවා ඉවත් කරගන්න අපි ඔයාට උදව් කරන්නම්. මේක කරන පුද්ගලයාට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්න ඔයාට ඕන නම්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ ඒකකයට පැමිණිල්ලක් යොමු කරන්න. මීට අමතරව, මේ සිද්ධිය නිසා ඔයා මානසිකව පීඩාවට පත් වෙලා නම් මානසික සහනය සඳහා 1926, විශේෂ මානසික සෞඛ්‍ය ක්ෂණික ඇමතුම් අංකයට කථා කරන්න.

අවසාන වශයෙන්, තිළිණි මේ දුෂ්කරම කාලයේ හිතවතීගේ කාරුණික මඟ පෙන්වීම අගය කළ අතර ඊට බෙහෙවින් ස්තූති කළා.

පූර්වාරක්ෂක ඉඟි:

  • යම් පුද්ගලයෙක් ඔබට සමාජ මාධ්‍ය යෙදුමක් හරහා කරදරකාරී ලෙස හැසිරෙනවා නම් ඔවුන්ගේ ගිණුම් රිපෝට් කර අවහිර (බ්ලොක්) කරන්න.
  • තමන්ගේ නිරුවත් දසුන් කිසිවෙකු සමඟ ශෙයා කර නොගන්න (ඒවා ඔබටම එරෙහිව භාවිත විය හැකි බැවින්)
  • ඔබ විසින්ම තොරතුරුවල සත්‍ය අසත්‍ය බව තහවුරු කර ගන්න තුරු කිසිවෙකු පවසන දේ විශ්වාස නොකරන්න.
  • බොහෝ වැඩිහිටි වෙබ්අඩවි වාර්තාකරණ පහසුකම් සපයන අතර යම් කෙනෙකුගේ අන්තර්ගතය කැමැත්තකින් තොරව ප්‍රකාශයට පත් කර ඇත්නම්, එය වාර්තා (රිපෝට්) කිරීමෙන් ඉවත් කළ හැක.
  • මෙවැනි සිදුවීම් ඔබට මානසිකව දරා ගැනීමට අපහසු බව දැනේ නම් 1926 (මානසික සෞඛ්‍ය උපකාරක සේවාව) අමතන්න.
  • සයිබර් අපරාධයක් සම්බන්ධව පැමිණිල්ලක් ඇත්නම් ඒ බව පැහැදිලිව අදාළ සාක්ෂි (නිවැරදි ලින්ක්, ස්ක්‍රීන්ෂොට් යනාදිය) සහිතව සඳහන් කර CID එකට ගොස් භාර දිය හැක. නැතහොත් ලියාපදිංචි තැපෑලෙන් “අධ්‍යක්ෂ, අපරාධ විමර්ෂණ දෙපාර්තමේන්තුව, කොළඹ 01” යන ලිපිනයට හෝ ඊමේල් හරහා dir.ccid@police.gov.lk වෙත පැමිණිල්ල යොමු කළ හැක.