අවසන් වරට යාවත්කාලීන කලේ 2026/11/20

මෙහි සඳහන් නම්-ගම් සියල්ල මනඃකල්පිතයි.

නෙත්මි කියන්නේ බොහොම කෙටි කාලෙකින් සෝෂල් මීඩියා වල ජනප්‍රිය වුණු තරුණියක්. එයාට රසිකයෝ (Followers) දහස් ගණනක් හිටියා. ඒ වගේම විවිධ වෙළඳ නාම (brands) එක්ක එකතු වෙලා වැඩ කරන්නත් අවස්ථා ලැබුණා. ඇයට අවශ්‍ය වුණේ සෝෂල් මීඩියා වල තමන්ගේ ජනප්‍රියත්වය තවත් වැඩි කරගන්නයි. නමුත් ඇගේ වැඩ කටයුතු වැඩි වෙද්දී ඒ හැමදේම තනියම කරගෙන යන්න ටිකක් අමාරු වුණා.

ඒ නිසා ඇය තමන්ගේ සෝෂල් මීඩියා එකවුන්ට් බලාගන්න පුද්ගලයෙක් අවශ්‍යයි කියලා සෝෂල් මීඩියා වල දැන්වීමක් දැම්මා. ඒකට අයදුම් කරපු අය අතර අශේන් කියලා තරුණයෙකුත් හිටියා. ඔහු අලුත් අදහස් ඉදිරිපත් කරන, වෙනස් විදිහට හිතන කෙනෙක්. ඔහු ඉදිරිපත් කරපු අලුත් යෝජනා ගැන නෙත්මි පැහැදුණු නිසා ඇය ඔහුව තමන්ගේ කළමණාකරු විදිහට තෝරාගත්තා.

අශේන් ඉතා ඉක්මනින් තමන්ගේ හැකියාව පෙන්වන්න පටන් ගත්තා. මාස කිහිපයක් ඇතුළත නෙත්මිට ප්‍රසිද්ධ වෙළඳ නාම සමඟ විශේෂ ගිවිසුම් ලබාගන්න පුළුවන් වුණා. ඒ වගේම ඉහළ පෙළේ උත්සව වලට ආරාධනා ලැබුුුණා. ධනවත් සහ බලවත් පුද්ගලයන් හඳුනාගන්නත් ඔහු උදව් කළා. මේ නිසා නෙත්මිගේ ජනප්‍රියත්වයත් ආදායමත් ගොඩක් වැඩි වුණා.

අශේන් තමන් වෙනුවෙන් කරන වැඩ ගැන පැහැදුණු නෙත්මි ඔහු ගැන ලොකු විශ්වාසයක් ඇති කරගත්තා. ඇය තමන්ගේ සමාජ මාධ්‍ය ගිණුම්වලට, පෞද්ගලික පණිවිඩවලට විතරක් නෙවෙයි, තමන්ගේ ජංගම දුරකථනයටත් ඔහුට ප්‍රවේශ වීමට අවසර දුන්නා.

නෙත්මිගේ වැඩ කටයුතු වැඩි නිසා ඒවා ලේසියෙන්ම කරගන්න පුළුවන් කියලා අශේන් ඇගේ ජංගම දුරකථනයට ඇප් එකක් ඉන්ස්ටෝල් කළා. නමුත් ඇත්තටම ඒක ඔත්තු බලන සොෆ්ට්වෙයා එකක් (Spyware). ඒ හරහා නෙත්මිගේ මැසේජ්, ෆොටෝ, දුරකථන ඇමතුම් වගේම ඉන්ටර්නෙට් එකේ කරන දේවලුත් ඇයට නොදැනීම බලන්න අශේන්ට පුළුවන් වුණා.

නෙත්මිගේ ජනප්‍රියත්වය එන්න එන්නම වැඩිවුණා. ඒ අතරේ අශේන් ඉතා භයානක වැඩක් කරමින් හිටියා.

ඔහු නෙත්මිගේ නමින් ව්‍යාජ (fake) ෆේස්බුක් ගෲප් එකක් හදලා තිබුණා. බැලූ බැල්මට ඒක සාමාන්‍ය රසිකයන්ගේ සමූහයක් වගේ පෙනුණත්, ඒක ඇතුළේ ධනවත් පුද්ගලයන්ට විශේෂයෙන් සම්බන්ධ වෙන්න පුළුවන් රහසිගත VIP ජාලයක් තිබුණා.

නෙත්මිගේ කිසිම දැනුවත්භාවයක් හෝ කැමැත්තක් නැතුව, ඇගේ පෞද්ගලික සහ සරාගී ඡායාරූප මේ පුද්ගලයන්ට මුදලට ලබාදෙන්න අශේන් කටයුතු කළා. ඒ වගේම මුදල් ලබාගෙන නෙත්මිව මේ පුද්ගලයන්ගේ අවශ්‍යතා සඳහා මුණගැස්වීමටත් ඔහු කටයුතු සූදානම් කළා.

ඒ විතරක් නෙවෙයි, වැඩ වැඩි නිසා මහන්සිය සහ පීඩනය අඩු කරගන්න පුළුවන් කියමින් අශේන් නෙත්මිට පෙති වර්ගයක් දෙන්න පටන් ගත්තා. නමුත් ඒවා ගත්තට පස්සේ නෙත්මිට සමහර වෙලාවට කරකැවිල්ලක් ඇති වුණා. සිදුවුණු දේවල් මතක නැති අවස්ථාත් තිබුණා. ඇයට නොදැනීම මත්ද්‍රව්‍ය ලබාදී ඇයව ලිංගික සූරාකෑමට ලක් කරමින් සිටින බව ඇය දැනගෙන හිටියේ නැහැ.

දවසක් වැදගත් වෙළඳ ප්‍රචාරණ වැඩසටහනකට සූදානම් වෙමින් සිටියදී නෙත්මි තමන්ගේ දුරකථනයේ තිබුණු සැක සහිත ඇප් එකක් දැක්කා. ඇය මේ ගැන අශේන්ගෙන් විමසූ විට ඔහු ඒ ගැන වැඩි අවධානයක් යොමු නොකර ඇගේ සැකය මඟහැරියා.

නමුත් නෙත්මිට මේ ගැන ලොකු සැකයක් ඇති වුණා. ඒ නිසා ඇය තාක්ෂණික විශේෂඥයෙකුගෙන් උපදෙස් ලබාගත්තා. එහිදී හෙළි වුණේ ඇගේ ජංගම දුරකථනයට ඔත්තු බලන සොෆ්ට්වෙයා එකක් ඇතුළත් කර ඇති බවයි.

මේ අතරතුර නෙත්මිට අසාමාන්‍ය සෞඛ්‍ය ගැටලු කිහිපයක් ඇති වුණා. පසුව ඇය ගැබ්ගෙන ඇති බවත් දැනගත්තා. මේ ගැන ඇය දැඩි කම්පනයට පත් වුණා. මොකද ඇය කිසිම ලිංගික සම්බන්ධතාවයක හිටියා කියලා ඇයට මතක තිබුණේ නැහැ. ඒ වගේම මේ දේ වුණේ කොහොමද කියලවත් ඇයට මතක තිබුණේ නැහැ.

තමන්ට මීට වඩා බරපතළ දෙයක් සිදුවෙමින් පවතින බව තේරුම් ගත් නෙත්මි, හිතවතී සම්බන්ධ කරගෙන තමන්ට සිදුවුණු දේ පැහැදිලි කළා.

එහිදී හිතවතී ඇයට ආරක්ෂිතව කටයුතු කරන ආකාරය ගැන උපදෙස් ලබාදුන්නා. සිදුවීමට අදාළ සාක්ෂි ආරක්ෂා කරගන්නා ආකාරය කියලා දුන්නා. අන්තර්ජාලය හරහා සිදුවුණු සූරාකෑම සහ අවසරයකින් තොරව ජංගම දුරකථනය හරහා ඔත්තු බැලීම ගැන අදාළ බලධාරීන්ට පැමිණිලි කරන ආකාරයත් පැහැදිලි කළා. ඒ වගේම වෛද්‍ය උපදෙස් ලබාගන්නත් කිව්වා. තමන්ට සිදුවූ බවට සැක කරන ලිංගික සූරාකෑම ගැන අදාළ බලධාරීන්ට පැමිණිලි කරන්නත් ඇයට උපදෙස් ලබාදුන්නා.

නෙත්මි පොලීසියට ගිහින් පැමිණිලි කළාට පස්සේ, මේ සිදුවීමට සමාන තවත් මිනිස් වෙළඳාම් සිදුවීමක් ගැන විමර්ශන නිලධාරීන්ට තොරතුරු හෙළි වුණා. ඒ සිදුවීමේදීත් කාන්තාවන්ට හොඳ රැකියා අවස්ථා සහ වෙනත් ආකර්ෂණීය අවස්ථා ලබාදෙන බව පවසා ඔවුන්ව රවටා සූරාකෑමට ලක් කර තිබුණා.

වැඩිදුර විමර්ශනවලදී හෙළි වුණේ අශේන් නෙත්මිගේ කළමණාකරු විදිහට මේ සියල්ලම සිදුකර ඇති බවයි. ඒ අතරතුර ඔහු රහසිගතව ඇගේ පෞද්ගලික තොරතුරු සහ ක්‍රියාකාරකම් නිරීක්ෂණය කරමින්, ධනවත් පුද්ගලයන්ගේ ජාලයක් හරහා ඇයව සූරාකෑමට ලක් කර තිබුණා.

නෙත්මිගේ වෘත්තීය ජීවිතය දියුණු කරගන්න උදව් වෙනවා කියලා පෙන්වපු ඒ ප්‍රසිද්ධ සහ ධනවත් පුද්ගලයන් සමඟ තිබුණු සම්බන්ධතා ඇත්තටම මිනිස් වෙළඳාම් ජාලයක කොටසක් බව අවසානයේ හෙළි වුණා.

අවසානයේදී අශේන්ව අත්අඩංගුවට ගත්තා. ඒ සමඟම නෙත්මිගේ සාර්ථක ජීවිතය පිටුපස සැඟවී තිබුණු භයානක සත්‍යය හැමෝටම හෙළි වුණා.

ආරක්ෂා වීමට ගත යුතු පියවර:

  • ඔයාගේ සමාජ මාධ්‍ය ගිණුම්, ජංගම දුරකථනය සහ පෞද්ගලික තොරතුරු වෙනත් අයට ලබා දීමේදී ඉතා සැලකිලිමත් වෙන්න.
  • හොඳින් සොයා බලා විශ්වාසදායක බව තහවුරු කරගන්නේ නැතුව නොදන්නා ඇප් ජංගම දුරකථනයට ඉන්ස්ටෝල් කරන්න එපා.
  • ඔයාගේ ජංගම දුරකථනයේ සැක සහිත ඇප් තියෙනවාද සහ අසාමාන්‍ය දේවල් සිදු වෙනවාද කියලා නිතරම පරීක්ෂා කරන්න.
  • ප්‍රසිද්ධ සහ බලවත් පුද්ගලයන් සම්බන්ධ කරගනිමින් ලැබෙන විශේෂ ව්‍යාපාරික අවස්ථා, පෞද්ගලික ආරාධනා සහ වෙනත් ආකර්ෂණීය අවස්ථා ගැන සැලකිලිමත් වෙන්න.
  • ඔයාගේ පෞද්ගලික තීරණ, ගමන් බිමන් සහ ජංගම දුරකථනය වෙනත් අයෙකුට පාලනය කරන්න ඉඩ දෙන්න එපා.
  • ඔයාට යම් හිරිහැරයක් හෝ අසාධාරණයක් සිදුවුණොත්, ඊට අදාළ සාක්ෂි ආරක්ෂා කරගෙන අදාළ බලධාරීන්ට පැමිණිලි කරන්න.
  • අන්තර්ජාලය හෝ සමාජ මාධ්‍ය සම්බන්ධ ගැටලුවක් ඇති වුණොත් උපදෙස් සහ සහාය ලබාගැනීමට හිතවතී සම්බන්ධ කරගන්න.
  • ඔයාගේ ජංගම දුරකථනයට වෙනත් අයෙකු අනවසරයෙන් ඇතුල් වී ඇති බවට හෝ එය ඔත්තු බැලීමට භාවිත කරන බවට සැකයක් තිබේ නම්, විශ්වාසදායක තාක්ෂණික විශේෂඥයෙකුගෙන් සහාය ලබාගන්න. ඒ වගේම ආරක්ෂිත වෙනත් උපාංගයක් භාවිත කරමින් ඔයාගේ වැදගත් ගිණුම්වල පාස්වර්ඩ් වෙනස් කරන්න.