අවසන් වරට යාවත්කාලීන කලේ 2022/10/07

මෙහි එන නම් ගම් මනඃකල්පිතයි.

ගීතා තරමක වයස්ගත ගෘහණියක් වූ අතර ගෙදර දොරේ වැඩකටයුතු සියල්ල අවසන් කර වැඩි වේලාවක් ගත කළේ ජංගම දුරකථනය සමඟය. එයා සාමාන්‍යයෙන් ලිපි, ප්‍රවෘත්ති ෆෝන් එකෙන් බලන්න පුරුදු වෙලා හිටියා. ඒ වගේම යූටියුබ් එකේ වීඩීයෝත් බලන්න පුරුදු වෙලා හිටියා. ගීතා වට්ස්ඇප් එකෙන් තමයි ගොඩාක් වෙලාවට යාළුවන්ට කථා කලේ.

දවසක් එයා වීඩීයෝ එකක් බල බල ඉන්නකොට වට්ස්ඇප් මැසෙජ් එකක් ආවා. ඒ පණිවුඩයේ තිබ්බෙ ඇමරිකාවෙ තිබ්බ ෆෝන් නම්බර් සම්බන්ධ ලොතරැයි ඇදීමකින් එයා දිනලා කියලා. ගීතා පුදුම වුනා. එයාට කියා ගන්න බැරි සතුටක් ආවේ.

ගීතා: මට මේක විශ්වාස කරන්නත් බෑ. ඇත්තටම හරිම සතුටුයි
ලොතරැයි නියෝජිතයා: අපගේ සුභ පැතුම්. ඔයාට තියන තෑග්ග ඩොලර් මිලියනයකටත් එහා!!!!
ගීතා: ආනේ ඇත්තද, කොහොමද මට ඒක එවන්නෙ?
ලොතරැයි නියෝජිතයා: ඔයා කැමතිද ඒ තෑගි වල පින්තූර බලන්න ??
ගීතා: ඔව්.. ඔව්……..
ලොතරැයි නියෝජිතයා: හැබැයි ඔයා මේක කාටවත් කියන්න එපා. එයාලට ඉරිසියා හිතෙයි. තව හොරු උනත් ඔයාගෙ පස්සෙන් එයි. හරිද?

ලොතරැයි නියෝජිතයා ගීතාට ලස්සන ලස්සන පින්තූර ටිකක් එව්වා. ගොඩාක් වටින දේවල් වල පින්තූර තමයි එව්වෙ.

පින්තූර දැක්කයින් පස්සෙ ගීතාට තවත් සතුටුයි. ගීතාට නියෝජිතයා කියනවා තෑගී ටික ලබා ගන්න එයාට රුපියල් ලක්ෂයක නිෂ්කාශන ගාස්තුවක් ගෙවන්න වෙනවා කියලා. ඊට පස්සෙ ඔවුන්ගේ බැංකු තොරතුරු එවනවා. ගීතා ළඟ එච්චර සල්ලි නෑ. ඒ නිසා එයා සල්ලි හොයාගන්න විදියක් ගැන දිගටම කල්පනා කරනවා. එයා හිතනවා එයාගෙ ඉඩමෙ ඔප්පුව උකස් කරන්න. ඊළඟ දවසෙම උකස් කරලා ගත්ත සල්ලි ටික අර කියපු බැංකු ගිණුමට එයා දානවා.

වැඩේ හරි කියන්න එයා අර ඇමරිකාවෙ මනුස්සයාට කථා කරනවා ඒත් එයලාව සම්බන්ධ කරගන්න බැරි වෙනවා. එයා දවස් ගානක් උත්සාහ කරනවා ඒත් හරියන්නෙ නෑ. ඉන්නම බැරි තැන ගීතා එයාගෙ තරුණ දුවට මේ විස්තරේ කියනවා. එතන මොකක් හරි සැක සහිත දෙයක් වෙනවා කියලා ගීතාගෙ දුවට හිතෙනවා. ඇය වහාම හිතවතී ට කථා කරනවා උපදෙසක් ගන්න.

හිතවතී මේ ළමයාගෙ අම්ම මුහුණ දුන්න අමුතු අත්දැකීම ගැන අහගෙන ඉන්නවා. ඊට පස්සෙ මේක මේ දවස්වල කුප්‍රකට වංචාවක් කියලා පහදලා දෙනවා. තවදුරටත් මේ වගේ වංචා වලින් බේරෙන්නේ කොහොමද කියලත් එයාලට කියලා දෙනවා.  ඒ වගේම අපරාධ විමර්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) සමාජ මාධ්‍ය පැමිණිලි අංශයට පැමිණිල්ලක් දාන්න කියල එයාලට උපදෙස් දෙනවා.

පූර්වාරක්ෂක උපදෙස්:

  • තමන් ලොතරැයි දිනුම් ඇදීමකට හෝ තරඟයකට ඇතුලත් වූයේ නැත්නම්, එවන් දිනුම් ඇදීමක් තමන්ට නොලැබෙන බව සිහියේ තබා ගන්න.
  • ත්‍යාගයක් හෝ දිනුම් ඇදීමක් ලබා ගැනීම සඳහා යමෙක් ඔබට මුලින්ම යම් මුදලක් / ගාස්තුවක් ගෙවන ලෙස ඉල්ලා සිටින්නේ නම්, එය සෑම විටම පාහේ වංචාවක් විය හැක. නීත්‍යානුකූල ලොතරැයි දිනුම් ඇදීම් සඳහා කලින් ගාස්තුවක් ගෙවීමට අවශ්‍ය නොවේ.
  • සයිබර් අපරාධයක් සම්බන්ධව පැමිණිල්ලක් ඇත්නම් ඒ බව පැහැදිලිව අදාළ සාක්ෂි (නිවැරදි ලින්ක්, ස්ක්‍රීන්ෂොට් යනාදිය) සහිතව සඳහන් කර CID එකට ගොස් භාර දිය හැක. නැතහොත් ලියාපදිංචි තැපෑලෙන් “අධ්‍යක්ෂ, අපරාධ විමර්ෂණ දෙපාර්තමේන්තුව, කොළඹ 01” යන ලිපිනයට හෝ ඊමේල් හරහා dir.cid@police.lk වෙත පැමිණිල්ල යොමු කළ හැක.