අවසන් වරට යාවත්කාලීන කලේ 2026/09/17

කොළඹ, ශ්‍රී ලංකාව – LK Domain Registry හි සමාජ සවිබලගැන්වීමේ කටයුතු සමඟ සම්බන්ධ FOUNDATION.LK, සිය ‘හිතවතී ටීන්ස් හබ් පුළුල් කිරීමේ ව්‍යාපෘතිය’ 2026 ජාතික ව්‍යාපෘති කළමනාකරණ විශිෂ්ටතා සම්මාන උළෙලේ (NPMEA 2026) රන් සම්මානයෙන් පිදුම් ලැබීමත් සමඟ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කර ඇත. මෙම සම්මාන උළෙල ශ්‍රී ලංකාවේ PMI කොළඹ ශාඛාව විසින් සංවිධානය කරන ලදී.

විශිෂ්ට ව්‍යාපෘති කළමනාකරණය මෙන්ම තරුණ පරපුර සඳහා වඩාත් ආරක්ෂිත ඩිජිටල් පරිසරයක් නිර්මාණය කිරීම සඳහා ලබාදුන් දායකත්වය ඇගයීමක් ලෙස මෙම ව්‍යාපෘතිය ‘ප්‍රජා සංවර්ධනය / රාජ්‍ය නොවන සංවිධානවල හොඳම ව්‍යාපෘති කළමනාකරණය’ යන තරඟ කාණ්ඩ 13 යටතේ සම්මානයට පාත්‍ර විය.

2026 අගෝස්තු 18 වන දින බත්තරමුල්ල Waters Edge පරිශ්‍රයේ පැවති සම්මාන උළෙලේදී මෙම සම්මානය පිරිනැමුණු අතර, එය FOUNDATION.LK සහ හිතවතී ව්‍යාපෘතිය සඳහා ලැබුණු සුවිශේෂී ජයග්‍රහණයකි. ශ්‍රී ලාංකික ප්‍රජාව තුළ සයිබර් ආරක්ෂාව සහ ඩිජිටල් සවිබලගැන්වීම ප්‍රවර්ධනය කිරීම සඳහා ඔවුන් දරන අඛණ්ඩ කැපවීමද මෙම ඇගයීම මඟින් මනාව ඉස්මතු කරයි.

ආරක්ෂිත ඩිජිටල් භාවිතය සඳහා තරුණ පරපුර සවිබලගැන්වීම

FOUNDATION.LK හි ප්‍රමුඛ ව්‍යාපෘතියක් වන හිතවතී, ශ්‍රී ලාංකිකයන් අතර සයිබර් ආරක්ෂාව සහ වගකීම් සහගත ඩිජිටල් හැසිරීම ප්‍රවර්ධනය කිරීම අරමුණු කර ගනිමින් ක්‍රියාත්මක වේ. විශේෂයෙන් කාන්තාවන් සහ ළමුන් කෙරෙහි අවධානය යොමු කරමින්, දැනුවත් කිරීමේ වැඩසටහන්, අධ්‍යාපනික වැඩසටහන් සහ නොමිලේ ත්‍රෛභාෂික උපකාරක සේවා හරහා ඩිජිටල් ලෝකයේ වඩාත් ආරක්ෂිතව හා විශ්වාසයෙන් යුතුව සැරිසැරීම සඳහා හිතවතී ප්‍රජාවට දැවැන්ත සහයක් ලබාදෙයි.

හිතවතී ටීන්ස් හබ් වැඩසටහන මුලින්ම නියමු ව්‍යාපෘතියක් ලෙස හඳුන්වා දෙන ලද්දේ පාසල් තුළ සිසුන්ට සයිබර් ආරක්ෂාව පිළිබඳ දැනුම ලබා ගැනීමට, වගකීම් සහගත ඩිජිටල් හැසිරීම් පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට සහ එම දැනුම තම සම වයසේ මිතුරන් අතර බෙදා ගැනීමට හැකි පරිසරයක් නිර්මාණය කිරීමේ අරමුණෙනි.

නියමු ව්‍යාපෘතිය සාර්ථකව ක්‍රියාත්මක කිරීමෙන් අනතුරුව, තවත් පාසල් වෙත මෙම වැඩසටහන ව්‍යාප්ත කිරීම සඳහා LK Domain Registry හි මූල්‍ය අනුග්‍රාහකත්වය යටතේ ව්‍යාපෘතිය පුළුල් කරන ලදී. මෙම පුළුල් කිරීම සිදු වූයේ LK Domain Registry හි ප්‍රධාන විධායක නිලධාරී / ඩොමේන් රෙජිස්ට්‍රාර් වන මහාචාර්ය ගිහාන් ඩයස් මහතා විසින් වැඩසටහන තවත් පාසල් වෙත ව්‍යාප්ත කරන ලෙස කළ ඉල්ලීමකට අනුවය.

2023 නොවැම්බර් සිට 2025 අප්‍රේල් දක්වා ක්‍රියාත්මක වූ හිතවතී ටින්ස් හබ් පුළුල් කිරීමේ ව්‍යාපෘතිය මඟින් බදුල්ල, පස්සර සහ ගලේවෙල අධ්‍යාපන කලාපවල අතිරේක පාසල් 29ක ටීන්ස් හබ් ස්ථාපිත කරන ලදී. මෙම වැඩසටහනේ ආරම්භක නියමු ව්‍යාපෘතිය සඳහා මෙටා සහ ආසියා පදනම අතර හවුල්කාරිත්වයෙන් ක්‍රියාත්මක වූ Resiliency Initiative ව්‍යපෘතිය මඟින් අරමුදල් සපයන ලදී.

තිරසාර සයිබර් ආරක්ෂණ දැනුවත් කිරීම් ප්‍රවර්ධනය

මෙම පුළුල් ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණක් වූයේ එක් වරක් පමණක් සිදුකරන දැනුවත් කිරීමේ වැඩසටහන්වලින් ඔබ්බට ගොස්, පාසල් මට්ටමින් තිරසාර සයිබර් ආරක්ෂණ ප්‍රවේශයක් ස්ථාපිත කිරීමයි.

ටීන්ස් හබ් හරහා ගුරුවරුන් සහ සිසුන් තම පාසල් ප්‍රජාව තුළ ඩිජිටල් තාක්ෂණය වඩාත් ආරක්ෂිතව සහ වගකීම් සහගතව භාවිත කිරීම ප්‍රවර්ධනය කිරීම සඳහා සක්‍රීය දායකත්වයක් ලබාදීමට දිරිමත් කරන ලදී. මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී අධ්‍යාපන අමාත්‍යාංශය, කලාප අධ්‍යාපන බලධාරීන්, පාසල් විදුහල්පතිවරුන්, ගුරුවරුන්, සිසුන් සහ අනෙකුත් පාර්ශ්වකරුවන්ගේ සහයෝගය ලබාගන්නා ලදී.

ව්‍යාපෘතිය සැලසුම්කරණය, පාර්ශ්වකරුවන් සම්බන්ධීකරණය, අවදානම් කළමනාකරණය, අධීක්ෂණය සහ ව්‍යාපෘතිය නිසි ලෙස අවසන් කිරීම ඇතුළත් ක්‍රමවත් ව්‍යාපෘති කළමනාකරණ ප්‍රවේශයක් අනුගමනය කිරීම හරහා ව්‍යාපෘතිය සාර්ථකව ක්‍රියාත්මක කිරීමට මෙන්ම එහි දිගුකාලීන බලපෑම තහවුරු කිරීමට හැකි වී ඇත.

විශිෂ්ටත්වය සඳහා වූ ඇගයීම

NPMEA 2026 රන් සම්මානය මඟින් විශිෂ්ට ව්‍යාපෘති කළමනාකරණය මෙන්ම එමඟින් ප්‍රජාව තුළ අත්කර ගැනීමට හැකිවූ විශිෂ්ට ප්‍රතිඵල ද ඇගයීමට ලක් විය.

සම්මාන උළෙලේදී FOUNDATION.LK ආයතනය නියෝජනය කරමින් එහි ප්‍රධාන විධායක නිලධාරිණී නිරෝජා ජයවික්‍රම මහත්මිය සහ හිතවතී ව්‍යාපෘති කළමනාකාරිණී ඩිලුෂා ද සිල්වා මෙනවිය සහභාගී වූහ.

 

“මෙම ඇගයීම FOUNDATION.LK ආයතනයටත්, සමස්ත හිතවතී කණ්ඩායමටත් මහත් අභිමානයක් ගෙන දෙන අවස්ථාවක්. ඒවගේම, ටීන්ස් හබ් වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා දායක වුන අපේ හවුල්කරුවන්, අධ්‍යාපන බලධාරීන්, විදුහල්පතිවරුන්, ගුරුවරුන් සහ සිසුන්ගේ සාමූහික උත්සාහයද මෙම සම්මානය මඟින් ඇගයීමට ලක් වෙනවා,” යනුවෙන් FOUNDATION.LK හි ප්‍රධාන විධායක නිලධාරිණී නිරෝජා ජයවික්‍රම මහත්මිය පැවසුවාය.

මෙම සම්මානය මඟින් ඩිජිටල් අවකාශය තුළ සවිබලගැන්වූ ප්‍රජාවක් නිර්මාණය කිරීම සඳහා FOUNDATION.LK ආයතනය දරන කැපවීම මෙන්ම, විශේෂයෙන් තරුණ පරපුර ඇතුළු ශ්‍රී ලාංකිකයන්ට ඩිජිටල් අවකාශය ආරක්ෂිතව සහ වගකීම් සහගතව භාවිත කිරීමට සහාය වීමේ හිතවතී මෙහෙවරද තවදුරටත් ශක්තිමත් කරයි.

හිතවතී යනු සයිබර් ආරක්ෂාව ප්‍රවර්ධනය කිරීම සහ ශ්‍රී ලාංකිකයන්ට ඩිජිටල් ලෝකය තුළ ආරක්ෂිතව හා විශ්වාසයෙන් යුතුව සැරිසැරීමට හැකිවන පරිදි ඔවුන් සවිබලගැන්වීම සඳහා කැප වූ FOUNDATION.LK හි ව්‍යාපෘතියකි.

ඡායාරූප අයිතිය: NPMEA 2026 සංවිධායකයින් සතුය.