අවසන් වරට යාවත්කාලීන කලේ 2025/10/17

මෙහි එන නම් ගම් සියල්ල මනඃකල්පිතයි.

එදින නිසොල්මන් ඉරිදා සන්ධ්‍යාවක්. පාසල් නිවාඩු දිනයක් වූ නිසාවෙන් අමාලි ඇයගේ අවුරුදු 10ක් වයසැති පුතාට ඇයගේ ජංගම දුරකථනය සුළු මොහොතකට ලබාදුන්නේ ඔහු කැමතිම මොබයිල් ගේම් එක සෙල්ලම් කිරීමටයි. හැමවිටම නැතිවුණත් නිදහස් වෙලාවට මවගේ ජංගම දුරකථනයෙන් ක්‍රීඩා කරන එක ඔහුගේ විනෝදාංශය.

මේ විදියට අන්තර්ජාලය (ඉන්ටර්නෙට්) හා ගේම් එක අතර සම්බන්ධ වී සිටින විට ඔහුට නොමිලේ කාසි (ෆ්‍රී කොයින්ස්) ලබාගැනීමට හැකි බව දන්වා නොටිෆිකේෂන් ආවා. එය විනෝදකාමී සෙල්ලමක් කියලා හිතපු ඔහු ඉතා උනන්දුවෙන් ඩවුන්ලෝඩ් කරගත්තා. ඔහු එහි කිසිදු තේරුමක් දැනගෙන හිටියේ නෑ. ගේම් එක සෙල්ලම් කරලා ඉවර කරලා ඔහු ෆෝන් එක තියලා ගියා.

ඊට ටික වේලාවකට පස්සේ නිවසේ වැඩකටයුතු ඉවර කරපු අමාලි ඇයගේ ෆෝන් එක භාවිත කිරීමට උත්සහ කරන විට අමුතු දේවල් සිද්ධ වෙන්න පටන් ගත්තා. එක්වරම නොදන්නා වෙබ් අඩවි ඇයගේ අවසරයක් නැතිවම විවෘත වුණා වගේම වෙනදට වඩා ෆෝන් එකේ ක්‍රියාකාරීත්වය ඉතා සෙමෙන් (Slow) සිදුවුණා. ෆෝන් එකේ ඇයගේ පාලනයක් නැතිවම එක එක දේවල් සිදුවන බවක් ඇයට දැනුණා. ඇයට වෙන්නේ මොකක්ද කියලා හරිහැටි නොතේරුණත් මේ අසාමාන්‍ය දෙයක් කියලනම් තේරුණා. නමුත්, මේ වෙලාවෙදී අමාලි ගොඩාක් අවුල් වෙලා හිටපු නිසා මේ ගැටලුවට මොකක් කරන්නද කියලා ඇයට හිතාගන්න බැරිවුණා. කල්පනා කර කර ඉන්න විට මීට පෙර අවස්ථාවකදී ඇය හිතවතී පිළිබඳව අසා තිබුණු බව මතක් වුණා. ඉන්පසු ඇය හැකි ඉක්මනින් හිතවතී සම්බන්ධ කරගැනීමට කටයුතු කළා.

සැණින් දුරකථනයෙන් සම්බන්ධ වූ හිතවතී කණ්ඩායම අමාලිව ඉතාමත් සුහඳව පිළිගත්තා වගේම ඇයට කළයුතු දේ පිළිබඳව පැහැදිලි මාර්ගෝපදේශ ලබාදුන්නා.

මේ තමයි හිතවතී අමාලිට දුන්නු මාර්ගෝපදේශයන්,

  • මුලින්ම ගූගල් ප්ලේ ස්ටෝ (Play Store) වලින් හෝ ඇප් ස්ටෝ (App store) වලින් විශ්වාසදායක අනිෂ්ට මෘදුකාංගයක්/ප්‍රති-වෛරස් (ඇන්ටිවෛරස්) ඇප් එකක් ඉන්ස්ටෝල් කරගන්න. (ෆෝන් එකට ආරක්ෂාවක් තිබුණේ නැති නිසා)
  • සම්පූර්ණ ප්‍රති-වෛරස් (ඇන්ටිවෛරස්) ස්කෑන් එක ක්‍රියාත්මක කර ඇප් එකේ ඇති උපදෙස් අනුව ඉදිරියට යන්න.
  • ඉක්මනින්ම නොදන්නා / සැක සහිත ඇප් ෆෝන් එකෙන් ඉවත් (uninstall) කරන්න.
  • බ්‍රවුස් කිරීමේ (අන්තර්ජාලයේ සැරිසැරූ) ඉතිහාසය හා කෑෂ් (cache) මකා දමන්න.
  • ඉන්පසු උපාංගයේ තිබෙන සියලුම ගිණුම් වලින් ඉවත් (ලොග් අවුට්) වන්න.
  • ෆෝන් එකේ මෙහෙයුම් පද්ධතිය (OS) සහ ඇප් යාවත්කාලීන (අප්ඩේට්) කරන්න. ඒ් වගේම වැදගත් ගිණුම් වල පාස්වර්ඩ් වෙනස් කරන්න (ඒවා නිරාවරණය වී තිබුණා නම්).

මේ පියවරයන් නිවැරදිව අනුගමනය කිරීමත් සමඟම ජංගම දුරකථනය නැවත යථා තත්ත්වයට පත්වුණා වගේම අමාලිට දැනුනේ හරිම සහනයක්.

 

මෙයින් අපිට ඉගෙන ගන්න පුළුවන් දේවල් මොනාද?

  • කවදාවත් නොදන්නා ලින්ක් (Link), පොප්-අප්ස් (Pop-ups) හෝ නිල ප්ලේ ස්ටෝ හෝ ඇප් ස්ටෝ වලින් පිටත කිසිඳු ආකාරයකින් දුරකථනයට/උපාංගයට ඇප් ඩවුන්ලෝඩ් කරන්න එපා.
  • දරුවන් ජංගම දුරකථනය භාවිත කරන විට විශේෂයෙන්ම අන්තර්ජාලයේ සැරිසරන විට ඔබගේ මගපෙන්වීම මත ඊට ඉඩ හරින්න.
  • ඩවුන්ලෝඩ් කළ හැකි හෝ ඇතුල් විය හැකි දේ සීමා කිරීමට උපාංගයේ දෙමාපිය පාලන (Parental Controls) හෝ කිඩ්ස් මෝඩ් (Kids Mode) සක්‍රීය කරන්න.
  • ඔබගේ ජංගම දුරකථනය / උපාංගය සහ මෙහෙයුම් පද්ධතිය (OS) නිසිලෙස අප්ඩේට් කර තබා ගනිමින්, නිසි වේලාවට ස්වංක්‍රීයව (Automatically) සිදුවන යාවත්කාලීන සඳහා ඉඩ ලබාදෙමින්, විශ්වාසදායක ප්‍රති-වෛරස යෙදුමක් (ඇන්ටිවෛරස්) ඉන්ස්ටෝල් කරගන්න.

ඔබ අනිවාර්යෙන්ම සිහි තබාගත යුතු දෙයක් වන්නේ,

ඔබගේ ජංගම දුරකථනයට/උපාංගයට නිතර සිදුනොවන අමුතු දෙයක් සිදුවුවහොත් එය නොසලකා හරින්න එපා. ඒ් පිළිබඳව අවධානයෙන් සිටින්න. හැකි ඉක්මනින් එය යථා තත්ත්වයට පත්කර ගැනීමට කටයුතු කරන්න. ඔබට එය සිදුකරන්නේ කෙසේද යන්න ගැන අවබෝධයක් නොමැති නම් හිතවතී සමඟ සම්බන්ධ වන්න. සයිබර් අවකාශය තුළ ප්‍රවේශමෙන් ඇවිද යන්න. නිවැරදි මග කියාදෙන්න හිතවතී ඔබ ළඟින්මයි.