අවසන් වරට යාවත්කාලීන කලේ 2023/01/18

ඩොක්සිං (doxxing) කියන්නෙ මොකක්ද?

තර්ජනාත්මක පුද්ගලයෙකු විසින් යමෙකුගේ පුද්ගලික තොරතුරු අන්තර්ජාලයටමුදා හැරීම හරහා ඩොක්සිං සිදු වේ. ඩොක්සිං කිරීමේ ප්‍රධාන අභිප්‍රාය වන්නේ හුවමාරු වන තොරතුරු හා සම්බන්ධ පුද්ගලයාට හිරිහැර කිරීමයි.

ඩොක්සිං සඳහා යොදා ගත හැක්කේ මොන වගේ පෞද්ගලික තොරතුරුද?

නම, ජංගම දුරකථන අංකය, නිවසේ ලිපිනය, මූල්‍ය දත්ත, පින්තූර, වීඩියෝ, පවුලේ විස්තර සහ රැකියා ස්ථානය පිළිබඳ තොරතුරු එලෙස ප්‍රකාශයට පත් කළ හැකි තොරතුරු කිහිපයකි.

ඩොක්සිං ක්‍රියාත්මක වන්නේ කෙසේද?

බොහෝ ඩොක්සිං ප්‍රහාර සිදු වන්නේ සමාජ මාධ්‍යවල නාඳුනන පුද්ගලයින් සමඟ ඇති වන ආරවුල් හේතුවෙනි. නිදසුනක් වශයෙන්, යම් පුද්ගලයෙකු සමාජ මාධ්‍යවල පළ කරන ලද දෙයක් සමඟ තවත් පිරිසක් එකඟ නොවන්නේ නම්, ඔවුන් එය පළ කළ පුද්ගලයාගේ පුද්ගලික තොරතුරු සොයා ගෙන හිරිහැර කිරීමට පටන් ගනී.

ඩොක්සිං හි නිරත වන්නෙක් (doxxer) ක්‍රම කිහිපයක් හරහා තොරතුරු සොයා ගනී;

  • ගූගල් හි සෙවීම් (සර්ච්) තුලින්, පුද්ගලයින්ගේ තොරතුරු සොයා ගැනීමෙන්
  • දත්ත තැරැව්කාර (ඩේටා බ්‍රෝක) වෙබ්අඩවි වලින් වාර්තා ඉල්ලා සිටීමෙන්
  • ඊමේල් ගිණුම් හෝ සමාජ මාධ්‍ය ගිණුම් හැක් කිරීම හරහා දත්ත සොරකම් කිරීමෙන්
  • අඳුරු (ඩාක්) වෙබ් හි සිටින අපරාධකරුවන්ගෙන් තොරතුරු මිලදී ගැනීමෙන්
  • ඔත්තු බැලීමේ මෘදුකාංග සබැඳියක් (ස්පයිවෙයා ලින්ක්) සහිත ෆිෂිං (වංචනික) හෝ ස්පෑම් ඊමේල් හරහා

ඔබ ඩොක්සිං වලට අහු වුනොත් මොකද කරන්නෙ?

  • පියවර 1 – අදාල පුද්ගලයා සමඟ කිසිදු ආකාරයක කතා බහක් / සන්නිවේදනයක් ඇති කර නොගන්න
  • පියවර 2 – අන්තර්ජාලයේ පළ වූ තොරතුරු පිළිබඳ වාර්තාවක් (සාක්ෂි ලෙස) තබා ගන්න
  • පියවර 3 – වැරදිකරුට එරෙහිව විධිමත් පැමිණිල්ලක් ගොනු කිරීමට නීති බලධාරීන් අමතන්න
  • පියවර 4 – අදාල පුද්ගලික තොරතුරු පවත්වා ගෙන යන වෙබ්අඩවි වලට එය ඉවත් කරන ලෙසඉල්ලීමක් කරන්න.

ඩොක්සිං ප්‍රහාරවලට හසු නොවී ඉන්නේ කෙසේද?

සාමාන්‍යයෙන් ඔබම ඔබේ පුද්ගලික තොරතුරු සැමට දැකිය හැකි අයුරින් (පබ්ලික්) පළ කරන්නේ නම් ඩොක්සිං අපරාධයක් ලෙස නොසැලකේ. කෙසේ වෙතත්, ඒවා හිරිහැර කිරීමේ හෝ තර්ජනය කිරීමේ අරමුණින් භාවිතා කරන විට, බොහෝ රටවල එය නීති විරෝධී ස්වරූපයක් ගනී. අවසානයේ අන්තර්ජාලයේ අපරාධකරුවන් සොයා දඬුවම් කිරීම ඉතා පහසු කාර්යයක් ද නොවේ. එමනිසා, පහත දැක්වෙන පූර්ව ආරක්ෂක උපදෙස් අනුගමනය කර ඩොක්සිං ප්‍රහාරවලට ලක්වීමේ අවදානම අවම කර ගැනීමට සෑම විටම පියවර ගත හැක.

  • ඔබ ගැන ඔන්ලයින් ලබා ගත හැකි තොරතුරු මොනවාදැයි ගූගල් (සර්ච්) කර බලන්න. ඔබ ගැන නුසුදුසු හෝ ඔබේ පුද්ගලික අන්තර්ගතයන් (ඇත්නම්) වාර්තා (රිපෝට්) කිරීමට / ඉවත් කිරීමට පියවර ගන්න.
  • ඔබ සැමට දැකිය හැකි අයුරින් (පබ්ලික්) බෙදා ගන්නා / ශෙයා කරන දේ ගැන පරෙස්සම් වන්න.
  • ඔබගේ ඊමේල් / සමාජ මාධ්‍ය ගිණුම් වල පුද්ගලික සැකසුම් (ප්‍රයිවසි සෙටිංස් / Privacy Settings) පරීක්ෂා කර ඔබගේ පුද්ගලික තොරතුරු පුද්ගලික බව සහතික කර ගන්න.
  • ශක්තිමත් මුරපද (පාස්වර්ඩ්) සාදා බහු සාධක සත්‍යාපනය (මල්ටි-ෆැක්ට ඔතෙන්ටිකේෂන් / MFA) ක්‍රියාත්මක කරන්න.
  • දත්ත තැරැව්කාර වෙබ්අඩවි වලින් ඔබගේ දත්ත මකන්න.
  • VPN සහ පෞද්ගලික බ්‍රව්සර් භාවිතයට උනන්දු වන්න.
  • ඔබ යෙදුම් (ඇප්) ඉන්ස්ටෝල් කරන විට ඉල්ලන අවසර (දත්ත වෙත ප්‍රවේශ වීමට) මොනවාදැයි පරීක්ෂා කර ඒ අනුව සැකසුම් හදන්න.
  • ආරක්ෂිත Wi-Fi ජාල භාවිතා කරන්න.

 

මූලාශ්‍ර:

https://www.usnews.com/360-reviews/privacy/what-is-doxxing

https://www.rd.com/article/what-is-doxxing/

https://www.digitalinformationworld.com/2019/03/infographic-how-to-handle-online-harassment.html