අවසන් වරට යාවත්කාලීන කලේ 2022/11/17

මෙහි එන නම් ගම් මනඃකල්පිතයි.

කොවිඩ් වසංගතයත් එක්ක පසුගිය අවුරුදු කිහිපයේදී ගොඩක් දෙනෙක්ට ආර්ථික අපහසුතාවලට මුහුණ දෙන්න සිදු වුණා. හෙෂානිටත් වුනේ ඒකමයි. එයා සල්ලි හොයන්න එක එක විදියට උත්සාහ කරා. ඒත් ඒ කිසිම දෙයක් හරි ගියේ නෑ.

එයා රෑ දවල් ඒ ගැන කල්පනා කරා. සමහර අවස්ථාවලදී එයාට හිතුනා පිටරට පොඩි ජොබ් එකකට යන්න. ඒත් ඒකටත් ගොඩක් සල්ලි ඕන වුණා. දවසක් හෙෂානි ෆේස්බුක් එකේ දැක්කා එයාටම ගැලපෙන නියම ඇඩ් එකක්.

“මේ දවස්වල මුදල් ප්‍රශ්නද? පවුලේ ආදායම වැඩි කර ගන්න කැමතිද? එහෙනම් අපිට මැසේජ් කරන්න දෙපාරක් හිතන්න එපා.”

හෙෂානි දෙපාරක් හිතුවේ නෑ. එයාට මේක හොඳ චාන්ස් එකක් කියලා තමයි හිතුනේ. ඒ නිසා එයා ඇඩ් එක දාපු කෙනාට මැසේජ් කරා.

හෙෂානි: හෙලෝ සර්, මට අර ෆේස්බුක් ඇඩ් එක ගැන පොඩ්ඩක් කියන්න පුළුවන්ද?
දැන්වීම්කරු: ආ….. ඔව් ඔව්……. අපි කෙලින්ම වැඩේ ගැන කතා කරමු. ඔයාට කරන්න තියෙන්නේ මේකයි. අමාරු දේවල් නෑ ඩාලිං. ඔයා අනිවාර්යයෙන්ම මේ වැඩේට කැමති වෙනවා. ඔයාට තියෙන්නේ අපිට හොට් පින්තූර ටිකක් එවන්න විතරයි. පොඩ්ඩක් ඇඟ එහෙන් මෙහෙන් පේන්න. අපි වැඩ කරන්නේ පිටරට කොම්පැනියක් එක්ක. ආසියාවේ ගැහැණු ළමයින්ගේ ෆිගර් වලට එහෙන් ලොකු ඉල්ලුමක් තියනවා. ඔයාට තේරෙනවනේ මම කියන දේ..
හෙෂානි: ම්ම්ම්ම්ම්……. අනේ, ඇත්තටම මම හිතුවේ ඔයා ජොබ් ගැන ඇඩ් එකක් දාලා තියෙන්නේ කියලා
දැන්වීම්කරු: ඉතින් මේක ජොබ් එකක් තමයි ළමයො. නිකං ඉඳලා හොඳ ගානක් හොයාගන්න පුළුවන්. අපිට එවන හැම පින්තූරයකටම හොඳ ගානක් ඔයාට ගෙවන්නම්. හිතලා බලලා මට කියන්නකො. හැබැයි පරක්කු වෙලා නම් කතා කරන්න එපා. ගෑණු ළමයි ගොඩක් බලාගෙන ඉන්නවා මේ වැඩේට.
හෙෂානි: මම කල්පනා කරලා බලන්නම්

හෙෂානි කලබල වුණා. එයාට බය හිතුනා. මේක නම් හරි යන දෙයක් නෙවේ කියලා එයාට තේරුනා. ඒත් එන්න එන්නම ප්‍රශ්නත් වැඩි වුණා. එයාට තවත් ගෙදරට බරක් වෙන්න බෑ කියලා හිතුනා.

ඉතින් එයා මේ මනුස්සයාට කතා කරලා ඉල්ලපු විදිහට පිරිමින්ගේ හැඟීම් අවුස්සන ෆොටෝ ටිකක් යැව්වා. හැම ෆොටෝ එකකටම සතිපතා සල්ලි දානවා කියලා හෙෂානිගේ බැංකු ගිණුමේ විස්තරත් ඉල්ලගත්තා.

දවස් ගත වුණා. හෙෂානිගේ ගිණුමට සල්ලි නම් වැටුනේ නෑ.එයා කර කියාගන්න දෙයක් නැතුව ඔහේ බලන් හිටියා. ඔහොම ඉන්නකොට දවසක් අර මනුස්සයාගෙන් මැසේජ් එකක් ආවා. සල්ලි ගැන වෙන්න ඇති කියලා හිතලා එයාට පොඩ්ඩක් සතුටු හිතුනා. ඒත් ඒ මැසේජ් එක දැකලා හෙෂානි ගොඩක් කලබල වුණා.

දැන්වීම්කරු: අපි මේ පින්තූර අඩල්ට් (පෝන්) වෙබ්සයිට් වලට දාන්න ඉන්නේ. ඊට පස්සේ හැමතැනම ශෙයා කරනවා. තමුසෙට ගෙදරින් එළියට බහින්න වෙන්නේ නෑ. මේක නවත්වන්න නම් අපිට ලක්ෂයක් ඕන මේ දැන්ම!!!

හෙෂානි හොඳටම බය වුණා, එයාට හැම දෙයක්ම එපා වුණා. ටික වෙලාවක් යනකල් එයාට මොකද්ද ඊළඟට වෙන්නේ කියලා හිතාගන්න බැරි වුණා. මේ අතරතුර එයාට වාසනාවට වගේ හිතවතී මතක් වුණා. ෆේස්බුක් පෝස්ට් එකකින්ම තමයි දවසක් එයා හිතවතී ගැන දැන ගත්තේ. එයා වහාම හිතවතී ට කතා කරා.

මුලින්ම හිතවතී එයාව මානසිකව ශක්තිමත් කරා. ඊට පස්සේ එයාව බ්ලැක්මේල් කිරීමට එරෙහිව නීතිමය උපදෙස් ගන්න කාන්තා පිහිට (WIN) ආයතනයට යොමු කරා. කාන්තා පිහිට ආයතනයේ නීති උපදෙස් ලබාගෙන ඔවුන් මෙම වංචාව කළ දැන්වීම්කරුගේ ගිණුම රිපෝට් කරන්න කිව්වොත් අවශ්‍ය තාක්ෂණික සහය සඳහා හිතවතී හා නැවත සම්බන්ධ වන ලෙස උපදෙස් ලබා දුන්නා. තවදුරටත් ඇයව මානසිකව ශක්තිමත් කිරීමට සුමිත්‍රයෝ ආයතනය වෙත ඇයව යොමු කළා.

පූර්වාරක්ෂක ඉඟි:

  • සමාජ මාධ්‍ය හරහා පළ කරන ඉක්මනින් මුදල් ලබාදෙන බව කියන දැන්වීම් බොහෝ විට වංචා සහගත හෝ නීති විරෝධී ක්‍රියාකාරකම් සහිත වේ. එමනිසා ඒවායින් හැකිතාක් පරිස්සම් වෙන්න.
  • කිසියම් හේතුවක් නිසා කාන්දු (ලීක්) වුවහොත් යථා තත්ත්වයට පත් කර ගැනීම කාලයක් ගත වන ක්‍රියාවලියක් වන හෙයින් පෞද්ගලික ඡායාරූප / වීඩියෝ කිසිවෙකු සමඟ හුවමාරු කර ගැනීමෙන් වළකින්න.
  • ඔබේ පින්තූර / වීඩියෝ හෝ ඔබට හානියක් වන වෙනත් අන්තර්ගතයන් අන්තර්ජාලයේ පළ කර ඇත්නම් ඒවා වාර්තා කර ඉවත් කිරීමට සහය සඳහා හිතවතී අමතන්න.
  • කාන්තාවන්ට එරෙහි ඕනෑම ආකාරයක හිරිහැර කිරීම් සඳහා නීති උපදෙස් නොමිලේ ලබා ගැනීමට කාන්තා පිහිට ආයතනයට කතා කරන්න.
  • මෙවැනි සිද්ධීන් නිසා ඔබ මානසිකව ව්‍යාකූල තත්ත්වයකට පත් වී ඇත්නම් සුමිත්‍රයෝ අමතන්න.