අවසන් වරට යාවත්කාලීන කලේ 2022/10/07

මෙහි එන නම් ගම් මනඃකල්පිතයි.

කෞෂි පාසල් අධ්‍යාපනය අවසන් කරලා රැකියාවක් සොයමින් සිටියේ ඇයගේ මව ආර්ථික දුෂ්කරතා වලට මුහුණ දී සිටි නිසාය. මුදල් නිසා කෞෂි ට සහ මවට ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න සිදු වුනා. කෙසේ වෙතත් ඇය උත්සාහ කරපු එක රැකියාවක් වත් ඇයට හරි ගියෙත් නෑ.

මේ තත්ත්වය නිසා කෞෂිගෙ අම්මා රට යන්න තීරණය කරනවා. ඔවුන් ඒජන්සියක් වෙත ගොස් එහි කිසියම් පුද්ගලයෙක් මුණගැහෙන අතර මෙම පුද්ගලයා ඔවුන්ගෙන් රුපියල් ලක්ෂයක මුදලක් ලබා ගනී. මොහු කෞෂිට සහ ඇයගේ මවට ඉක්මනින් රැකියාවක් ලැබෙන බවටත් ඉන් ඔවුන්ගේ සියලු ප්‍රශ්න විසඳෙන බවටත් පොරොන්දු වේ. ඒජන්සියට දුන්න මුදල් කෞෂිගෙ අම්මා හොයා ගන්නේ හරිම අමාරුවෙන්. ඇය එම මුදල් ඉල්ලාගන්නෙ නෑදෑ කෙනෙක්ගෙන්, නැවත ඉක්මනින් එම මුදල් ලබා දෙන බවට පොරොන්දු වෙලා.

ඒජන්සියේ මෙම පුද්ගලයාට ඔවුන් සමග ෆේස්බුක් මැසෙන්ජර් හරහා පහසුවෙන් කටයුතු කරන්න පුළුවන් කියලා කිව්වත් කෞෂිගෙ මවට ෆේස්බුක් ගිණුමක් නෑ. ඒක නිසා කෞෂිගෙ ෆේස්බුක් විස්තර සියල්ල ඔහුට ලබා දෙන්න ඔවුන් තීරණය කරනවා.

සති කිහිපයකට පස්සෙ මෙම පුද්ගලයාගෙන් කෞෂිට මැසෙජ් එන්න පටන් ගන්නවා

ඒජන්සියේ පුද්ගලයා: හායි කෞෂි, ඔයාට හොඳ ආරංචියක් තියනවා

කෞෂි: හායි, අපේ අම්මාට ජොබ් එකක් හම්බ උනාද?

ඒජන්සියේ පුද්ගලයා: ඔව් ඔව්, අම්මාට ඉක්මනින් බහරේන් යන්න වෙයි

කෞෂි: තැන්ක් යූ අපිට උදව් කරාට. ඔයා හරිම හොඳ කෙනෙක්

මේ විදියට දිගටම මේ දෙන්නා චැට් කරන්න ගත්තා. එජන්සියේ පුද්ගලයාට ටිකෙන් ටික කෞෂිගෙ හිත දිනාගන්න පුළුවන් වුනා.

මාස කිහිපයකට පසු ……

ඒජන්සියේ පුද්ගලයා කෞෂිට චැට් කරන එක නවත්වනවා. කෞෂිගෙ අම්මාගෙ ජොබ් එක එන්න එන්න පරක්කු වෙන අතර රට යන්න සල්ලි ලබා දුන් නෑදෑ පුද්ගලයා දිගින් දිගටම සල්ලි ඉල්ලන්න ගන්නවා.

මෙම ප්‍රශ්න නිසා කෞෂි අදාල ඒජන්සියෙ පුද්ගලයාට ආයෙත් කථා කරනවා. එයා කෞෂි එක්ක දැන් කථා කරන්නෙ වෙනස් විදියකට.

කෞෂි: හෙලෝ, ඇයි ඔයා කථා කරේ නැත්තෙ? අපෙ අම්මගෙ ජොබ් එකට මොකද උනේ?

ඒජන්සියේ පුද්ගලයා: ඔයාගෙ සල්ලි ප්‍රශ්න වලට මම මොනවා කරන්නද?

කෞෂි: ඔයා පොරොන්දු උනා නෙ අපෙ අම්මාට ජොබ් එකක් හොයලා දෙනවා කියලා. අපෙන් සල්ලිත් ගත්තනෙ

ඒජන්සියේ පුද්ගලයා: මට ජොබ් හොයන්න බෑ. ජොබ් හොයන්න ලේසි නෑ. මම ගත්ත සල්ලි ආපහු දෙන්නම්

කෞෂි: කවදද සල්ලි දෙන්නෙ?

ඒජන්සියේ පුද්ගලයා: මම සල්ලි දෙන්නම් හැබැයි ඔයාට වීඩියො කෝල් එකක් අරන් ඇඳුම් ගලවන්න වෙනවා. මොකද කියන්නෙ?

කෞෂි හොඳටම බය වෙලා ෆෝන් එක පැත්තකට දානවා.

දවස් ගත වෙනකොට කෞෂිලා ගෙ සල්ලි ප්‍රශ්න තව තවත් වැඩි වෙනවා. ඒ නිසා එයා හිතනවා අර පුද්ගලයා කිව්ව දේ ගැන.

එදා රෑ කෞෂි එයාගෙ අම්මාට මුකුත් නොකියා අර මනුස්සයා කියපු දේට කැමති වෙනවා. එයා කොල් එකක් අරගෙන අර මනුස්සයා කියපු දේ කරන්න පෙළඹෙනවා.

ඒජන්සියේ පුද්ගලයා අනෙත් පැත්තෙ ඉදන් වීඩියෝ කෝල් එක වෙලාවෙ ස්ක්‍රීන්ශොට් ගන්නවා.

කෞෂි එයාගෙ සල්ලි ඉල්ලනවා ඒත්……..

ඒ එජන්සියෙ පුද්ගලයා කියනවා එයාට සල්ලි දෙන්න විදියක් නෑ කියලා, වැඩිය උඩ පැන්නොත් කෞෂිගෙ පින්තූර ෆේස්බුක් දානවා කියලා එයා තර්ජනය කරනවා.

කෞෂි හොඳටම බය වෙනවා. එයාට කර කියාගන්න දෙයක් නැතිව අසරණ වෙනවා. මේ අමාරු කාලය තුල ඇය කෙසේ හෝ හිතවතී ගැන දැනගන්නවා . ඉන්පසු ඇය හිතවතී ට හොට්ලයින් දුරකථනය ඔස්සේ කථා කරනවා.

කෞෂි මානසිකව ගොඩාක් වැටිලා ඉන්නෙ කියලා තේරුම් ගත් හිතවතී එයාව 1926 (ජාතික මානසික සෞඛ්‍ය ආයතනය) වෙත යොමු කරනවා. තවදුරටත් හිතවතී එම පුදගලයාගේ ෆේස්බුක් මැසෙන්ජර් ගිණුම වාර්තා කරන්න කියලා උපදෙස් දෙන අතර ඇයට dir.cid@police.lk ඊමේල් ලිපිනය හරහා අපරාධ විමර්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) සමාජ මාධ්‍ය පැමිණිලි අංශය වෙත අදාල පුද්ගලයාගේ තර්ජන කිරීම් පිළිබඳව දැනුම් දෙන මෙන් කියා සිටිනවා.

පූර්වාරක්ෂක උපදෙස්:

  • කුමන අවස්ථාවකදී හෝ තෙවන පාර්ශවයක් සමග සමීප පින්තූර හෝ වීඩියෝ කිසිවිටක බෙදා නොගන්න.
  • මෙවන් සිද්ධීන් නිසා ඔබ මානසිකව ව්‍යාකූල තත්ත්වයකට පත් වී ඇත්නම් 1926 (ජාතික මානසික සෞඛ්‍ය ආයතනය) හෝ සුමිත්‍රයෝ වෙත කථා කරන්න.
  • සයිබර් අපරාධයක් සම්බන්ධව පැමිණිල්ලක් ඇත්නම් ඒ බව පැහැදිලිව අදාළ සාක්ෂි (නිවැරදි ලින්ක්, ස්ක්‍රීන්ෂොට් යනාදිය) සහිතව සඳහන් කර CID එකට ගොස් භාර දිය හැක. නැතහොත් ලියාපදිංචි තැපෑලෙන් “අධ්‍යක්ෂ, අපරාධ විමර්ෂණ දෙපාර්තමේන්තුව, කොළඹ 01” යන ලිපිනයට හෝ ඊමේල් හරහා dir.cid@police.lk වෙත පැමිණිල්ල යොමු කළ හැක.
  • ඔබ පෙනී සිටින අන්තර්ගතය (පින්තූර, වීඩියෝ, ආදිය…) ඔබේ අවසරයකින් තොරව පළ කර ඇත්නම් වාර්තා (රිපෝට්) කරන්න; අවශ්‍ය නම් සහය සඳහා හිතවතී අමතන්න.