අවසන් වරට යාවත්කාලීන කලේ 2022/10/07

මෙහි එන නම් ගම් මනඃකල්පිතයි.

උසස් අධ්‍යාපනය හදාරමින් සිටි රයිනි පොත් කියවන්න ඉතා කැමැත්තක් දැක්වූ දීප්තිමත් සිසුවියක් වුණා. මේ නිසාම සමහර සිසුන් ඇයට ඊර්ෂ්‍යා කළා.

දිනක් තමන්ට හිරිහැර කරන (බුලීං) ෆේස්බුක් පෝස්ට් එකක් රයිනිගේ ඇස ගැටුණා. එය නිර්මාණය සඳහා යොදාගෙන තිබුණේ ඇයගේම ෆේස්බුක් ගිණුමෙන් සොරකම් කරන ලද පින්තූරයක් වන අතර එහි ලියා තිබුණේ;

“මෙලෝ රහක් නැති සිසු චරිතය

කූඹියෙකුටවත් හිංසාවක් නොකළ රයිනිට මේක දැකලා තරහ ගියා. මෙය වහාම ඉවත් කරන ලෙසත් නැතිනම් පොලිසියේදී තමන්ව හමුවන ලෙසත් කියමින් ඇය එම පෝස්ටුව පළ කල පුද්ගලයාට තර්ජනය කළා.

පැය කීපයකට පසු ඇගේ මිතුරියක් දුරකථනයෙන් කතා කර අදාළ පෝස්ට් එක තවදුරටත් නොපෙනෙන බවත් ඒ නිසා එය ඉවත් කර ඇති බවත් තහවුරු කළා. ඉදිරියේදී වෙනත් අයුරින් මෙවැනි රිදවිම් සිදු විය හැකි බැවින් පරිස්සම් වන්න කියා මිතුරිය වැඩිදුරටත් රයිනිට පැවසුවා. එය ඇසු රයිනිට ඉදිරියේ වියහැකි අනතුරු ගැන බියක් ඇති වුනා. මේ බව මිතුරියට පැවසූ විට ඇය හිතවතී අමතා යම් උපදෙසක් ලබා ගන්නා ලෙසත් හිතවතී සම්බන්ධ කර ගත හැකි ක්‍රම ගැන විස්තරත් ලබා දුන්නා.

මිතුරිය දුන් දුරකථන අංකය ඇමතීම හැර රයිනිට වෙනත් විකල්පයක් තිබුණේ නැහැ. ඇය හිතවතී අමතා සිදු වූ දේ පැහැදිලි කළා;

රයිනි: මං දන්නෑ, මට බයයි. අපි එකම අධ්‍යාපන ආයතනයේ නිසා ඒ අයගෙන් සමහරක් මගේ මිතුරු ලැයිස්තුවේත් ඉන්නවා. ඒ කට්ටිය මගේ ගිණුම් හැක් කරලා මගේ ජීවිතේ අවුල් කරන්න වුනත් උත්සාහ කරන්න පුලුවන්.
හිතවතී: අපිට ඔයා කියන දේ තේරෙනවා රයිනි..දැන් පෝස්ට් එක අයින් කරලා තියෙන නිසා ඒ ගැන ඕනාවට වැඩිය හිතන්න එපා. ඒත් මේවගේ කරදර ආයෙත් ඇති නොවෙන්න ඔයාට අනුගමනය කරන්න පුලුවන් ආරක්ෂිත උපදෙස් ටිකක් තියනවා.
#1: ඔයා හොඳින් දන්නා මිතුරන් පමණක් ඔයාගේ ලැයිස්තුවට එකතු කරන්න.
#2: එකම ආයතනයේ වුනත් ඔයාට රිදවන / හිරිහැර කළ හැකි අය අවහිර (බ්ලොක්) කරන්න / මිතුරුකමින් අයින් කරන්න (අන්ෆ්‍රෙන්ඩ්).
#3: ඔයාගේ පුද්ගලික තොරතුරු / ඡායාරූප හැමෝටම පේන විදිහට (පබ්ලික්) නොදා ප්‍රයිවට් (Private) තියන්න නැත්නම් මිතුරන්ට පමණක් (Friends Only) පේන්න තියන්න. ඊට අමතරව ඔයාගේ සමාජ මාධ්‍ය ගිණුම්වල පුද්ගලිකත්ව සැකසීම් (ප්‍රයිවසි සෙටිංස්) දෙවරක් පරීක්ෂා කරලා බලන්න.
#4: කවුරුහරි ඔයාගේ ෆොටෝ / වීඩියෝ පළ කරනවද කියලා නොටිෆිකේෂන් මඟින් දැනගන්න නම් ෆේස්බුක් එකේ සෙටිංස් ගිහින් ‘මුහුණ හැඳුනුම’ (Face Recognition) සක්‍රීය (On) කරන්න.
#5: කාටවත් අනුමාන කරන්න බැරි විදිහට ඔයාගේ පාස්වර්ඩ් ශක්තිමත් කරගන්න.
#6: පුලුවන් හැම තැනකම, අනවසර ප්‍රවේශයන් (හැක් කිරීම්) අපහසු කරවන ද්වි සාධක සත්‍යාපනය (ටූ ෆැක්ට ඔතෙන්ටිකේෂන් / 2FA) සක්‍රීය කර තබන්න.
#7: AVG, Kaspersky, Avast, Avira වගේ නොමිලේ ලබා ගත හැකි ඇන්ටි-වයිරස් මෘදුකාංගයක් (ඇප් එකක්) ඔයාගේ ජංගම දුරකථනයට ඉන්ස්ටෝල් කරලා නිතිපතා ස්කෑන් වන ලෙස සකසන්න. ඒකෙන් ඔයාව අනාරක්ෂිත / වංචනික (ෆිෂිං) වෙබ්අඩවි වෙත ගෙන යාම වළක්වනවා.
#8: මොනවා වුනත් ඔයා ශක්තිමත්ව සිටීම ඉතා වැදගත්; සහය අවශ්‍ය ගැටලුවක් තියෙනවනම් අප අමතන්න.
#9: සයිබර් අවකාශයේ සුරක්ෂිතව ඉන්නේ කොහොමද කියලා වැඩිදුර තොරතුරු දැනගන්න හිතවතී වෙබ්අඩවියට පිවිසෙන්න.

ටූ ෆැක්ට ඔතෙන්ටිකේෂන් සහ ෆේස් රෙකග්නිෂන් (මුහුණ හැඳුනුම) වගේ දේවල් ගැන ඇය ඇසුවේ පළමු වරටයි. ඒ උපදෙස් අනුගමනය කරන්න රයිනි සතුටින් පොරොන්දු වුන අතර බයේ දැඟලූ තමන්ට ඉස්සරහට යන්න විශ්වාසයක් ඇති කරවීම ගැන හිතවතී ව අගය කළා.

පූර්ව ආරක්ෂක උපදෙස්:

    • සමහර විට ඔබ සයිබර් අවකාශය තුළ හිරිහැරයට ලක් විය හැක. එය ඔබේ වරදක් නොවන බවත් ඒවායින් මිදීමට ක්‍රම ඇති බවත් හොඳින් මතක තබා ගන්න. මෙවැනි අවස්ථාවක ඔබ හොඳ සිහියෙන් ශක්තිමත්ව සිටිය යුතුයි. හේතුව, ඔවුන්ගේ පළ (පෝස්ට්) කිරීම් / අදහස් (කමෙන්ට්) වල අයහපත් බලපෑම ගැන හෝ ඒවා ඔබට දැනෙන්නේ කොයි විදිහටද කියලා ඔවුන් කිසිවිටෙකත් සිතන්නේ නෑ.
    • එවැනි කරදර හිරිහැර සිදු වීම වැලැක්වීමට / අවම කිරීමට ඉහත විශේෂයෙන් මතු කර ඇති (#1 සිට #9 දක්වා) ආරක්ෂක මාර්ගෝපදේශ අනුගමනය කරන බවට වග බලා ගන්න. අවශ්‍ය නම් සහය සඳහා හිතවතී අමතන්න.
    • බොහොමයක් සමාජ මාධ්‍ය වේදිකා තුළ වෛරී ප්‍රකාශ, හිරිහැර කිරීම (බුලීං), නිරුවත සහ සදාචාර විරෝධී නොයෙක් දේවලට ඉඩ නොදෙන බැවින්, ඔබට එවැනි දෙයක් හමුවන සැමවිටම ඒවා වාර්තා (රිපෝට්) කළ හැක.
    • එවැනි අපරාධකරුවන්ට එරෙහිව පැමිණිලි කිරීම (නීතිමය ක්‍රියාමාර්ග ගැනීම) සඳහා ළමුන් හා කාන්තාවන්ට ප්‍රමුඛත්වය ලබා දෙන පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය (දුරකථන: 011 244 4444) අමතන්න.
    • මේ පිටුපස ඇත්ත වශයෙන්ම සිටින්නේ කවුරුන්දැයි සොයා බලා එම පුද්ගලයාට දඬුවම් කිරීමට අවශ්‍ය නම් (නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට), ඔබ අයත් වන පොලිස් ස්ථානයට ගොස් පැමිණිල්ලක් දැමීම හෝ www.telligp.police.lk වෙබ් පිටුව හරහා ඔන්ලයින් පොලිසීයට පැමිණිලි කළ යුතුවේ. (category එක ‘cyber crime’ ලෙස තෝරන්න. අදාළ සාක්ෂි අමුණන්න)
    • මීට අමතරව, සයිබර් අපරාධ සම්බන්ධව පැමිණිලි ඇත්නම් ඒ බව පැහැදිලිව අදාළ සාක්ෂි (ලින්ක්, දිනය වෙලාව සහිත ස්ක්‍රීන්ෂොට් ආදිය) සහිතව සඳහන් කර CID එකට ගොස් භාර දිය හැක. නැතහොත් ලියාපදිංචි තැපෑලෙන් “අධ්‍යක්ෂ, අපරාධ විමර්ෂණ දෙපාර්තමේන්තුව, කොළඹ 01” යන ලිපිනයට හෝ ඊමේල් හරහා dir.cid@police.lk වෙත පැමිණිල්ල යොමු කළ හැක.