අවසන් වරට යාවත්කාලීන කලේ 2023/01/30

මෙහි එන නම් ගම් මනඃකල්පිතයි.

චාරුකී උසස් පෙළ විභාගයට පෙනී සිට ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් තමයි හිටියෙ. එයා පාසලේ ඉතා ක්‍රියාශීලී වගේම ගොඩක් සමිති / සමාජවල සාමාජිකාවක් වුණා. ඒ නිසා උසස් පෙළ විභාගය ඉවර වෙලත් එයා වැඩි කාලයක් ගත කළේ පාසලේ. විවිධ සමාජවලින් සංවිධානය කරපු උත්සව සඳහා උපකාර කරන්න එයා ගොඩක් වෙලාවට පාසලට ගියා.
චාරුකීට පෙම්වතෙකුත් හිටියා. චාරුකීගේ දෙමව්පියෝ ඔහු ගැන වගේම ඔහුගේ දෙමව්පියොත් චාරුකී ගැන දැනගෙන හිටියා. ඔවුන්ට පවුල් දෙකේම කැමැත්ත, ආශිර්වාදය ලැබිලයි තිබුණේ.
චාරුකී සහ ඒ පිරිමි ළමයා අතර ගොඩක් හොඳ සම්බන්ධයක් තිබුණා. ඒ වගේම එයාලා දෙන්නා එකිනෙකා දැඩි ලෙස විශ්වාස කළා. ඒ දෙන්නා සාමාන්‍ය යුවළක් හැසිරෙන ආකාරයට පින්තූර බෙදා ගත්තා. ඔවුන් විටින් විට සිය පෞද්ගලික ඡායාරූප හුවමාරු (ශෙයා) කර ගැනීමටත් දෙවරක් සිතුවේ නැහැ.
පාසලේ ඉංග්‍රීසි දිනයේදී උත්සව සංවිධායකවරියක් විදිහට ඉස්කෝලේ හොඳ තැනක් තිබුණු නිසා චාරුකී උදෙන්ම පාසලට දුවගෙන ආවා. පාසල් අධ්‍යාපනයෙන් පසුවත් ඇය නිතරම පාසලේ උත්සවවලට මේ විදියට උදව් කළා.
චාරුකී එහෙට මෙහෙට දුවමින් තම සහෝදර සහෝදරියන්ට උදව් කරමින් කාර්යබහුලව ඉන්නකොට එයාගේ පාසලේ කුඩා පිරිමි ළමයින් කිහිප දෙනෙක් ඇවිත් චාරුකීගේ ජංගම දුරකථනය ඉල්ලුවා.

ළමයි ටික: අක්කි ඔයාගෙ ෆෝන් එක පොඩ්ඩක් දෙන්න පුළුවන්ද? උත්සවයේ ෆොටෝ ටිකක් ගහන්න.

චාරුකී දෙපාරක් හිතුවෙ නෑ.

චාරුකී: ගන්න ගන්න මල්ලී, ඔන්න මේකයි පැටර්න් එක ******
ළමයි ටික: අනේ තෑන්ක්ස් අක්කි. ෆෝන් එක ඉක්මනින් දෙන්නම්

චාරුකී ගොඩක් බිසී වුණා. ඒ හින්දා එයාට දුරකථනය අමතක වුණා. පැය දෙකකට විතර  පස්සේ කොල්ලො ටික එයාට ෆෝන් එක ආපහු දීලා ස්තූති කරා.

ළමයි ටික: අක්කි අනේ අමතක කරන්නේ නැතුව සෙනුල්ට පින්තූර ටික එවන්න. අපි එයාගේ නම්බර් එක ඕකෙ සේව් කලා
චාරුකී: හරි හරි. මං එවන්නම්.

චාරුකීට එතැනදී පින්තූර යවන්න වෙලාවක් තිබුණේ නැහැ. උත්සවය ඉවර වුණාම එයා ගෙදර ගිහින් නාලා විවේකීව අම්මා එක්ක කතා බහ කර කර හිටියා. එතකොට තමා මතක් වුණේ පින්තූර යැව්වෙ නෑනෙ කියලා. එයා ෆෝන් එකේ සෙනුල්ගේ නම්බරේ හොයද්දි, එයාට පොඩි අමුත්තක් තේරුණා.

අම්මෝ!!!!!

එයාගේ පුද්ගලික ෆොටෝස් නරක මැසේජ් එක්ක වට්ස්ඇප් හරහා හැමෝටම යවලා. එයා ලොකු කරදරයක වැටුණා කියලා හිතුනා. චාරුකී බයෙන් ඇඬුවා. එයා ඉක්මනින්ම පෙම්වතාට කෝල් කරා මොකද ඔහු හොඳට තමන්ව තේරුම් අරන් තියෙන්නේ කියලා චාරුකී දන්න නිසා. ඔහු ඇයව සන්සුන් කළ අතර ඉක්මනින් විසඳුමක් සෙවීමටත්  චාරුකීට උදව් කිරීමටත්  පොරොන්දු වුණා.

චාරුකීගේ පෙම්වතා: චාරු වුණ දේවල් දැන් හිතන්න එපා. දැන් බලමු අපිට මොකක්ද කරන්න පුළුවන් කියලා. මම ඉන්නවා නේ මොන දේ වුණත්. අපි බලමු මේ පටලැවිල්ල කොහොම හරි ලිහා ගන්න

චාරුකීගේ හිත සැහල්ලු වුණා..
චාරුකීගේ පෙම්වතා ඉන්ටනෙට් එකේ හැමතැනම මේකට විසඳුමක් හෙව්වා. එයාට හිතවතී ගැන හොයාගන්න පුළුවන් වුණා. එයා ඒ ගැන චාරුකීට කිව්වා. චාරුකීට හිතවතී උපකාරක සේවයට කථා කරන්න කියලා ඔහු කිව්වා. චාරුකී හිතවතී ට කථා කලේ හරිම දුකෙන්. එයාට වුණ ප්‍රශ්නය විස්තර කරලා කිව්වා. පළමුව හිතවතී චාරුකීට සන්සුන් වෙන්න කියලා උපදෙස් දුන්නා. ඊට පස්සේ සිද්ධිය සම්බන්ධයෙන් නොමිලේ නීතිමය උපදෙස් ලබා ගැනීම සඳහා ඇයව කාන්තා පිහිට ආයතනය වෙත යොමු කළා. එම ආයතනයේ කාන්තා ගැටලු වෙනුවෙන් කතා කරන නිලධාරීන් ඉන්න නිසා නොබියව ඔවුන්ට ඇත්ත විස්තරේ කියලා උපදෙස් ලබා ගන්නා ලෙස ඇයට කිව්වා. එසේම ඇයව තවදුරටත් මානසිකව ශක්තිමත් කිරීමට නොමිලේ සේවය ලබා දෙන කාන්තා පිහිට හෝ සුමිත්‍රයෝ ආයතනය එක්ක සම්බන්ධ වෙන්න කියලා ඇයට උපදෙස් දුන්නා.

පූර්වාරක්ෂක ඉඟි:

  • ඔබ භාවිතා කරන උපාංගවල (ජංගම දුරකථන, ලැප්ටොප් පරිගණක ආදි) හෝ ඔබගේ මාර්ගගත (ඔන්ලයින්) ගිණුම්වල පිවිසුම් විස්තර කිසිවෙකු සමඟ බෙදා නොගන්න.
  • නොමිලේ නීතිමය හා මනෝ විද්‍යා උපදේශන ලබා ගැනීම සඳහා කාන්තා පිහිට ආයතනය හා සම්බන්ධ වන්න.
  • වට්ස්ඇප් යෙදුම හරහා කෙලින්ම ඒ සම්බන්ධ ගැටලු වාර්තා (රිපෝට්) කරන්න.
  • මෙවැනි සිද්ධි ඔබට මානසිකව දරා ගැනීමට අපහසු බව දැනේ නම්, සුමිත්‍රයෝ හා සම්බන්ධ වන්න.