අවසන් වරට යාවත්කාලීන කලේ 2022/10/07

මෙහි එන නම් ගම් මනඃකල්පිතයි.

එක් උදෑසනක විවාහක කාන්තාවක් වූ සීතා අඬමින් හිතවතී ට කෝල් කළා.

සීතා: අනේ මිස්, කරුණාකරලා මට උදව් කරන්න.
හිතවතී: ඔව් කියන්න, මොකක්ද ඔයාගේ ප්‍රශ්නේ?
සීතා: මගේ නිරුවත් වීඩියෝ අසභ්‍ය වෙබ්සයිට්වල තියෙනවා, ඒවා ගොඩක් අය බලනවා..
හිතවතී: ඒක වුණේ කොහොමද කියලා ඔයාට අදහසක් තියෙනවද?
සීතා: මං එපා කිව්වත් මගේ හස්බන්ඩ් ඒවා රෙකෝඩ් කරන්න පුරුදු වෙලා හිටියා. ඒත් මං කවදාවත් හිතුවේ නෑ එයා මාව මේ වගේ විකුණයි කියලා.
හිතවතී: ඒ කියන්නේ හස්බන්ඩ් ඒවා ඒ වෙබ්සයිට්වලට විකුණලා?
සීතා: ඔව්… මට දැන් සමාජෙට මුහුණ දෙන්න බෑ…

සීතා විසින් සපයන ලද තොරතුරුවලට අනුව, හිතවතී ඇගේ වීඩියෝ පට පළ කර ඇති අසභ්‍ය වෙබ්අඩවි පිළිබඳව වැඩිදුර පරීක්‍ෂා කර ඒවා වාර්තා (රිපෝට්) කර ඉවත් කිරීමට ඇයට මඟ පෙන්නුවා. තවද 1938 (කාන්තා හා ළමා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ කාන්තා උපකාරක දුරකථන සේවාව) විසින් සැමියාට එරෙහිව අරඹන ලද නීතිමය ක්‍රියා පටිපාටිය නොනවත්වා කරගෙන යන මෙන් හිතවතී ඇයට උපදෙස් දුන්නා. මීට අමතරව, එම අවස්ථාවේදී හිතවතී ඇයට ශක්තිමත්ව සිටින ලෙසත්, ඇදහිය නොහැකි මේ සිද්ධිය හමුවේ මානසිකව කඩා වැටීමක් දැනෙයි නම් 1926 (මානසික සෞඛ්‍ය උපකාරක සේවාව) හෝ සුමිත්‍රයෝ අමතන ලෙසත් ඉල්ලා සිටියා. ඇගේ ප්‍රශ්නයට විසඳුමක් ඇති බව ඒත්තු ගැන්වුන සීතා මුලදී මෙන් ඇඬීම නතර කළා. අන්තිමේදී ඇය හිතවතී වෙත සිය ස්තූතිය පිරිනැමූ අතර ඇයට ලබා දුන් උපදෙස් පිළිපැදීමට පොරොන්දු වුණා.

පූර්ව ආරක්ෂක උපදෙස්:

  • කිසියම් හේතුවක් නිසා කාන්දු (ලීක්) වුවහොත් යථා තත්ත්වයට පත් කර ගැනීම කාලයක් ගත වන ක්‍රියාවලියක් වන හෙයින් සමීප රහස්‍ය දර්ශන පටිගත (රෙකෝඩ්) කිරීම හෝ ඔබේ නිරුවත වීඩියෝ කිරීමට / පින්තූර ගැනීමට අන් අයට ඉඩ දීම නිර්දේශ නොකෙරේ.
  • ඔබ මෙවැනි තත්ත්වයකට පත් වූ අසරණ කාන්තාවක් නම් නීතිමය සහය සඳහා 1938 (කාන්තා හා ළමා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ කාන්තා උපකාරක දුරකථන සේවාව) අමතන්න.
  • මෙවැනි සිදුවීම් ඔබට මානසිකව දරා ගැනීමට අපහසු බව දැනේ නම් 1926 (මානසික සෞඛ්‍ය උපකාරක සේවාව) හෝ සුමිත්‍රයෝ අමතන්න.
  • එවැනි පින්තූර / වීඩියෝ බෙදා ගැනීමෙන් (ශෙයා / ෆෝවර්ඩ් කිරීමෙන්) වළකින්න.
  • ඔබ පෙනී සිටින අන්තර්ගතය (පින්තූර, වීඩියෝ, ආදිය…) ඔබේ අවසරයකින් තොරව පළ කර ඇත්නම් වාර්තා (රිපෝට්) කරන්න; අවශ්‍ය නම් සහය සඳහා හිතවතී අමතන්න.