අවසන් වරට යාවත්කාලීන කලේ 2022/10/11

මෙහි එන නම් ගම් මනඃකල්පිතයි.

ශාලි බදුල්ල ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි තරුණියක්. ඇය සිය පළමු රැකියාව සඳහා කොළඹට පැමිණියේ ඉතාම මෑතකදී. දිනක් ඇගේ දුරකථනයට ඇමතුමක් ලැබුණා, එය නාඳුනන අංකයකින්.

අමතන්නා 01: “හෙලෝ, ශාලි”
ශාලි : “ඔව්, ඔයා කවුද?”
අමතන්නා 01: “ඔයා හරිම ලස්සනයි. මම ඔයාව මගේ අනාගත මනාලිය කරගන්න කැමතියි, ඔයා ගැන විස්තර මට කියන්න… ”
ශාලි : “මොකක්ද?”
බීප්… බීප්… බීප් (ශාලි ඇමතුම විසන්ධි කලා)
————–
අමතන්නා 20: “හෙලෝ, මට ශාලි සමඟ කතා කළ හැකිද?”
ශාලි : “ඔව්, මම ශාලි.”
අමතන්නා 20: “ඉතින්…., මම සුසන්ත, මම ඔයාට කැමතියි, මම ඔයා ගැන දැන විස්තර දැන ගන්න කැමති…”
ශාලි : “ඉන්න .. ඉන්න, මේ මොකක්ද? මට ඊයේ ඉඳන් පිරිමි අයගෙන් කෝල් 20 ක් විතර ආවා විවාහ වෙන්න කැමතිද කියල අහල. මට කියන්න ඔයාට මගේ අංකය ලැබුනේ කොහොමද? ”
අමතන්නා 20: “මේ මේ-ශාලි ..ඔයා මට කෑගහන්නේ ඇයි? ඔයාටම නේද කසාද බඳින්න ඕන  උනේ? “
ශාලි: “මම කසාද බඳින්න? පිස්සුද? කොහෙත්ම නැහැ”
අමතන්නා 20: “එහෙනම් මොන එකකටද ඔයාගේ ෆොටෝ එකයි ෆෝන් නම්බර් එකයි @ ## $ com. වෙබ්සයිට් එකේ දැම්මේ?”
ශාලි : “පොඩ්ඩක් ඉන්න…මොන වෙබ්සයිට් එකක්ද? ”
අමතන්නා 20: “@ ## $.com.”
ශාලි : “මේ මහත්මයා, සොරි , මම ඒවගේ දෙයක් කරල නැහැ. ඔයාට වැරදිලාද කොහෙද. මේ ප්ලීස් මට ආයෙත් කෝල් කරන්න එපා ”
අමතන්නා 20: “මේ හලෝ බොරු කියන්න එපා, තමුන්ම විස්තර දාල අපිට බනිනවා.. මිනිස්සු එක්ක සෙල්ලම් කරන්න එපා”
ශාලි: “සමාවෙන්න”
බීප්… බීප්… බීප් (ශාලි දුරකථනය ඇමතුම විසන්ධි කලා)

මෙම සංවාදයෙන් පසු ශාලි කලබල වුනා. ඇය ලැප්ටොප් පරිගණකය විවෘත කර එම පුද්ගලයා පැවසූ වෙබ් අඩවිය පරීක්ෂා කළාය. ඇය ඇගේ නම යොදා සර්ච් කලා…

මෙන්න! ඇගේ නම, ඡායාරූපය සහ දුරකථන අංකය වෙබ් පිටුවේ !

“අනේ… මම දැන් මොකද කරන්නේ?” “මම මගේ ජීවිතය පටන් ගත්තා විතරයි – මට දැන්ම බඳින්න ඕන නෑ” “අම්මායි තාත්තයි මේ ගැන දැනගත්තොත් මොනවා වෙයිද?” මට කවුද මෙහෙම කළේ? ” ඇය තමන්ටම කියා ගත්තා.

ඇයට තමන් අසරණ බවක් දැනුනා. කවුරුහරි ඇගේ ඡායාරූප සහ ජංගම දුරකථන අංකය මෙම විවාහ වෙබ් අඩවියට දමා ඇති බව දැන් ඇයට හොඳටම විශ්වාසයි.

ඇය කාර්යාලයේ සිටින ඇගේ හොඳම මිතුරිය අමතා අඩමින් මුළු කතාවම කීවා. ශාලි ගේ මිතුරිය හිතවතී ගැන ෆේස්බුක් ඇප් එක හරහා දැනගෙන තිබුනා. ඇය ශාලිගෙන් ඉල්ලා සිටියේ හිතවතී සම්බන්ධ කර ගන්නා ලෙසයි.

ශාලි හිතවතී අමතා උදව් ඉල්ලා සිටියා. හිතවතී ඇය සමඟ දීර්ඝ කතාබහක යෙදුණා. එම වෙබ් අඩවියට .COM වසමක් ඇති බව ශාලි දැන ගත්තා. එබැවින් දැනුම් දීම සඳහා සම්බන්ධතා පුද්ගලයා හඳුනා ගැනීම / සොයා ගැනීම පවා දුෂ්කර බවත් එය .lk වසමක් නම් යමෙකු සම්බන්ධ කර ගැනීම පහසු වන්නට තිබුන බවත් දැනගත්තා.

පසුව හිතවතී ඇයට උපදෙස් දුන්නේ අදාල වෙබ් අඩවියේ “අප අමතන්න” වෙත ගොස් මේ පිළිබඳව දැනුම් දෙන ලෙසයි. තව දුරටත් හිතවතී ඔවුන්ට ලිවිය යුතු ආකාරය ගැන ශාලි ට ​​උදව් කළා. විශේෂයෙන් ඇයගේ පැමිණිල්ල වඩා වෘත්තීමය සහ ස්ථිර ආකාරයකින් යවන්නත්, අවශ්‍ය තොරතුරු සහ ඇයගේ පෞද්ගලික තොරතුරු තහවුරු කිරීමකින් තොරව පළ කිරීම සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට වුවද ඇය පසුබට නොවන බව දන්වා යවන්නත් හිතවතී සහය දුන්නා.

එම වෙබ් අඩවියේ ඇගේ නම එකතු කර ඇත්තේ කවුද යන්න තවමත් අභිරහසකි- නමුත් ඒ අයහපත් තත්ත්වයෙන් ගොඩ ඒමට හිතවතී ඇයට සහාය විය.

පූර්වාරක්ෂාව සඳහා ඉඟි:

  • මෙවැනි දෙයක් ඔබට සිදුවුවහොත් – ඉවසිලිවන්ත වන්න, කලබල නොවන්න. සෑම ගැටලුවකටම විසඳුමක් ඇති බව විශ්වාස කරන්න. ඉන්පසු හිතවතී අමතන්න..
  • ඔබේ පින්තූර / වීඩියෝ හෝ ඔබට හානියක් වන වෙනත් අන්තර්ගතයන් අන්තර්ජාලයේ පළ කර ඇත්නම් ඒවා වාර්තා කර ඉවත් කිරීමට සහය සඳහා හිතවතී අමතන්න.
  • සයිබර් අපරාධයක් සම්බන්ධව පැමිණිල්ලක් ඇත්නම් ඒ බව පැහැදිලිව අදාළ සාක්ෂි (නිවැරදි ලින්ක්, ස්ක්‍රීන්ෂොට් යනාදිය) සහිතව සඳහන් කර CID එකට ගොස් භාර දිය හැක. නැතහොත් ලියාපදිංචි තැපෑලෙන් “අධ්‍යක්ෂ, අපරාධ විමර්ෂණ දෙපාර්තමේන්තුව, කොළඹ 01” යන ලිපිනයට හෝ ඊමේල් හරහා dir.cid@police.lk වෙත පැමිණිල්ල යොමු කළ හැක.