අවසන් වරට යාවත්කාලීන කලේ 2023/06/28

මෙහි එන නම් ගම් මනඃකල්පිතයි.

කවීතා අවුරුදු 28 ක තරුණියක්, එයාගේ ප්‍රසන්න පෞරුෂය සහ පවුලේ එකම කෙල්ල වීම නිසා අම්මා, තාත්තා ඒ වගේම නෑදෑයො එයාට ගොඩක් ආදරය කරා.

කවීතා ඉගෙන ගෙන ඉවර වුන ගමන්ම එයාගේ දෙමාපියන්ට ඕන වුනේ එයාට හොඳ කෙනෙක් හොයලා කසාද බන්ඳන්න. ඉතින් එයාලා කවීතාට සහකරුවෙක් හොයන්න පටන් ගත්තා. මේ කාලයේ දී ෆේස්බුක් මැසෙන්ජර් මගින් කවීතාට කෙනෙක් මැසේජ් එවන්න ගත්තා.

විශ්ව විද්‍යාලයේ ඉගෙනගන්නවා කියන කෙනෙක් කවීතා එක්ක දිගින් දිගටම චැට් කරන්න පටන් ගත්තා. උදේ ඉඳන් රෑ වෙනකල් මේ දෙන්නා චැට් කරා. ඔහොම යනකොට කවීතාට තේරුණා එයා ඒ පිරිමි ළමයාට ආදරය කරනවා කියලා. චැට් වලට අමතරව මේ දෙන්නා පැය ගණන් මැසෙන්ජර් හරහා කෝල් ගන්නත් පටන් ගත්තා.

ඔහොම යනකොට දවසක් එක කෝල් එකක දී

කොල්ලා: මට අද වැඩි වෙලාවක් කථා කරන්න වෙන්නෙ නෑ. මට සල්ලි ටිකක් ඕන වෙලා තියනවා යුනී එකේ අන්තිම පේමන්ට් එක කරන්න
කවීතා: අනේ සොරී බබා, මම ගාවත් සල්ලි නම් නෑ
කොල්ලා: අනේ යාලුවෙක්ගෙන් හරි පොඩ්ඩක් අහලා බලන්න පුළුවන්ද, මට හදිස්සියි, ඒකයි
කවීතා: මම ට්‍රයි කරන්නම්කො

කවීතා සල්ලි හොයන්න විදියක් කල්පනා කරනවා මොකද මේ පිරිමි ළමයා එයාට දිගටම ඒක මතක් කරන නිසා. කල්පනා කරන කොට එයාට එක පාරට මතක් වෙනවා අම්මලා එයාට දුන්න රත්තරන් බඩු ටික. එයාගේ වෙඩින් එකට තමයි අම්මලා මේවා ලොකු ගාණක් වියදම් කරලා හදලා දුන්නෙ. දෙපාරක් හිතන්නෙ නැතුව එයා ඒ රත්තරන් බඩු ටික බැංකුවට උකස් කරලා සල්ලි හොයා ගන්නවා. ගෙදර ඇවිත් අර පිරිමි ළමයාට කවීතා කථා කරනවා.

කවීතා: හෙලෝ මම බඩු වගයක් උකස් කරලා සල්ලි හොයාගත්තා. ඔයාගෙ අකවුන්ට් නම්බර් එක එවන්නකො මම සල්ලි ටික දාන්නම්
කොල්ලා: තැන්ක් යූ සෝ මච් ඩාර්ලිං, මම ඔයාට ගොඩාක් ආදරෙයි. මේ මගේ අකවුන්ට් නම්බර් එක xxxxxxxxxx. මම රෑට කථා කරන්නම් කවී. පරිස්සමින් ඉන්න

කවීතා සල්ලි දාලා කෝල් එකක් එනකල් බලන් ඉන්නවා, එත් එයා කෝල් කරන්නෙ නෑ. ටික වෙලාවකින් එයා මැසෙන්ජර් එකෙන් කථා කරන්න බලනවා ඒත් එයා මැසෙන්ජර් වලත් පේන්න නෑ.
දවස් ගනන් යනවා. කවීතා ගොඩාක් දුක් වෙනවා. එයා හැම තිස්සෙම ඒ ළමයා ගැන හිත හිත දුක් වෙනවා.
ඔහොම ඉන්නකොට දවසක් කවීතාට පණිවිඩයක් එනවා

කොල්ලා: කථා කරන්න එහෙම හදන්න එපා මට. මම බැඳලා ළමයිනුත් ඉන්නවා. තමුසෙ මට ආයෙත් කථා කරොත් මරලා දානවා.

කවීතා හොඳටම බය වෙනවා. එයා මානසිකව ගොඩක් විඳවනවා. හැම තිස්සෙම කරන්නෙ අඬන එක. මේ කාලෙදී එයා දකිනවා ෆේස්බුක් එකේ විඩියෝ එකක් ශෙයා වෙනවා. ඒකේදී හිතවතී ගැන එයාට අහන්න ලැබෙනවා. එයා හිතවතී වෙබ් අඩවියට ගිහින් එකේ නිලධාරිනියක් එක්ක චැට් කරනවා. වෙච්ච් දේ මුල ඉඳලා කවීතා කියනකොට හිතවතී ඉතා හොඳින් එයා කියන දේ අහගෙන ඉන්නවා. අහගෙන ඉඳලා එයාව (CID) සමාජ මාධ්‍ය පැමිණිලි අංශය වෙත යොමු කරනවා. තවදුරටත් ඇයට නීතීමය සහය ලබා ගැනීමට කාන්තා පිහිට ආයතනයටත් ඇයව යොමු කරනවා. ඇය මානසිකව වැටී ඇති නිසා හිතවතී ඇයට ශක්තිමත් වන්න යැයි කියා මානසික සහනය ලබා ගැනීම සඳහා ඇයට 1926 මානසික සෞඛ්‍ය උපකාරක සේවාව හෝ සුමිත්‍රයෝ හා සම්බන්ධ වන ලෙස දැනුම් දෙනවා.

පූර්වාරක්ෂක උපදෙස්:

  • සයිබර් අවකාශයේ ඔබ සමඟ කතාබස් කරන නාඳුනන පුද්ගලයින් විශ්වාස නොකරන්න.
  • ඔබ කිසිම දිනක මුණ ගැසී නැති අන්තර්ජාලය හරහා ඔබට මුණගැසෙන පුද්ගලයින්ට මූල්‍ය ආධාර ලබා නොදෙන්න.
  • සයිබර් අපරාධයක් සම්බන්ධව පැමිණිල්ලක් ඇත්නම් ඒ බව පැහැදිලිව අදාළ සාක්ෂි (නිවැරදි ලින්ක්, ස්ක්‍රීන්ෂොට් යනාදිය) සහිතව සඳහන් කර CID එකට ගොස් භාර දිය හැක. නැතහොත් ලියාපදිංචි තැපෑලෙන් “අධ්‍යක්ෂ, අපරාධ විමර්ෂණ දෙපාර්තමේන්තුව, කොළඹ 01” යන ලිපිනයට හෝ ඊමේල් හරහා dir.ccid@police.gov.lk වෙත පැමිණිල්ල යොමු කළ හැක.
  • නීතිමය සහාය සඳහා කාන්තා පිහිටට කථා කරන්න.
  • මෙවැනි සිදුවීම් හේතුවෙන් ඔබට මානසික බිඳවැටීමක් දැනෙන විට 1926 (විශේෂ මානසික සෞඛ්‍ය ක්ෂණික ඇමතුම් අංකය) හෝ සුමිත්‍රයෝ අමතන්න.