අවසන් වරට යාවත්කාලීන කලේ 2023/09/12

මෙහි එන නම් ගම් මනඃකල්පිතයි.

තිලිනි ඉගෙනගන්න ගමන් පොඩි ව්‍යාපාරයකුත් කරා. එයා හරිම දක්ෂයි කේක් හදන්න. ඉතින් එයා කප්කේක් හදන එක තමයි අමතර ආදායමක් ලබන්නයි විනෝදාංශයක් විදියටයි කරේ. තිලිනිගෙ බිස්නස් එක දියුණු කරගන්න එයා ෆේස්බුක් පිටුවකුත් කරගෙන ගියා. එයා හදන කේක් වල විවිධ පින්තූර අරන් ෆේස්බුක් පිටුවේ පළ කරා. එයාගෙ ෆේස්බුක් පිටුවට සැලකිය යුතු තරම් පිරිසකුත් හිටියා. ඒ වගේම තිලිනි එයාගෙ ගමේ ටිකක් ප්‍රසිද්ධ චරිතයකුත් වුණා.

තිලිනි එයාගෙ ව්‍යාපාර කටයුතුවලට ගොඩක් වෙලාවට ෆේස්බුක් පාවිච්චි කරා. ඒ වගේම කේක් මිලදී ගන්න ඕන ගොඩක් අය මැසේජ් වලින් තමයි ඇණවුම් කිරීම් කරේ.

දවසක් තිලිනි මැසේන්ජර් එකේ මැසේජ් බල බල ඉද්දි අමුතු මැසෙජ් එකක් දැක්කා. එයාට කෙනෙක් වීඩියෝ එකක් එවලා තිබ්බා. තිලිනි වීඩියෝ එක ක්ලික් කරලා බැලුවා. වීඩියෝ එක දැක්ක ගමන් තිලිනි පුදුමයෙන් පුදුමයට පත් වුණා. ඒක හරිම අඳුරු පසුබිමක නිරුවත් ගෑණු ළමයෙක් හිටිය වීඩියෝ එකක්. ඒ ගෑණු ළමයාගේ හැඩ රුව තිලිනි වගේමයි. ටික වෙලාවක් යන තුරු තිලිනිට මේක අදහගන්නත් බැරි වුණා, මොකද වීඩියෝ එකේ හිටපු ගෑණු ළමයා එයා වගේමයි. බය වෙච්ච පාර තිලිනි ෆෝන් එක විසි කරලා දැම්මා. කර කියා ගන්න දෙයක් නැතිව ඇස් වලට කඳුලු පිරුනා.

බීප් බීප් (ඔන්න ෆෝන් එකට මැසේජ් එන්න ගත්තා)

තිලිනිට ෆෝන් එක දිහා බලන්නවත් හිතුනේ නෑ. එයා පිළිමයක් වගේ ඔහේ බලන් හිටියා. කිසිම දෙයක් එයාට කල්පනා වුණේ නැහැ.
ටික වෙලාවකට පස්සේ තිලිනි ෆෝන් එක බැලුවාම කලින් මැසේජ් එවපු කෙනාම මැසේජ් එකක් එවලා තිබ්බා. එයාගෙ ෆේස්බුක් නම තිබ්බෙ “නයිට් රයිඩර්” කියලා.

නයිට් රයිඩර්:හායි කප්කේක්, මාර වීඩියෝ එකක් නෙ, හෙන සෙක්සි ආහ්

තිලිනි: මේ මම නෙවේ.. ඔයා කවුද?

නයිට් රයිඩර්: ඔයා නෙවේ, හා හා.. හරි හරි අපි බලමුකො මේ ඔයා නෙවේද කියලා යාළුවොන්ටයි ගෙදර අයටයි වීඩියෝ එක යවලා, හා හා

තිලිනි: අනේ එහෙම කරන්න එපා, ඇයි ඔයා මෙහෙම කරන්නෙ?

නයිට් රයිඩර්: ඔයා කැමති නැත්නම් මම ශෙයා කරන් නෑ

තිලිනි: අනේ වඳින්නම් මේක ශෙයා කරන්න එපා. මිනිස්සු මං ගැන වැරදියට හිතයි

නයිට් රයිඩර්: හරි. හැබැයි ඔයාට පොඩි දෙයක් කරන්න වෙනවා

තිලිනි: මොකක්ද?

නයිට් රයිඩර්: ඔයාට වීඩියෝ කෝල් එකක් අරන් මේ විඩීයෝ එකේ වගේ ඉන්න වෙනවා. එතකොට මම මේක ඩිලීට් කරනවා. මම ඔයා ගන්න කෝල් එක රෙකෝඩ් කරන්නෙ නෑ. ඒක පොරොන්දුවක්

දැන් නම් තිලිනි බයේ ගැහුනා. එයා ඉක්මනට ෆෝන් එක ඕෆ් කරා.
තිලිනි වෙන වැඩක් කරන්න හිතුවා. ඒත් එයාට ඒකට අවධානය යොමු කරන්න බැරි වුණා. එයා ආයෙත් ෆෝන් එක අතට ගත්තා. අර මනුස්සයා ආපහු මැසේජ් කරලා තිබ්බා.

නයිට් රයිඩර්: මොනවද කෙල්ලෙ මේක ඩීල් එකක්, මුකුත් අවුලක් වෙන්නෙ නෑ. මම හරියටම රෑ 7:00 ට ඔයාට කෝල් එකක් ගන්නම්

තිලිනි ඒ මැසේජ් එකට පිළිතුරක් දැම්මෙ නෑ. එයා හොඳටම බය වෙලා ඉක්මනින් වෙලාව බැලුවා. එතකොට වෙලාව හවස 4:30 යි. තිළිනි ගොඩාක්ම කිට්ටු එයාගෙ අක්කට. ඉතින් එයා අක්කට කතා කරලා මේ විස්තරේ කිව්වා. එයාගෙ අක්කා ඒ වෙලාවෙ ඔෆිස් එකේ හිටියෙ. එයා නිකමට අන්තර්ජාලයේ හොයලා බැලුවා කාන්තාවන්ට එරෙහි තර්ජන ගැන. තිලිනිගෙ අක්කා හිතවතී වෙබ්අඩවිය දැක්කා. එයා ඒක පොඩ්ඩක් බලලා හිතවතී  උපකාරක සේවයට ඉක්මනින් කතා කරන්න කියලා තිලිනිට කිව්වා.

තිලිනි හිතවතීට කතා කරා. එයා හරිම බයෙන් තමයි කතා කරේ. හිතවතී මුලින්ම එයාට කලබල නැතුව සන්සුන් වෙන්න කියලා උපදෙස් දුන්නා. ඊට පස්සේ එයාගෙ කථාවට ඇහුම්කන් දුන්නා. ඉන්පසු හිතවතී ඇයට පැහැදිලි කළේ සෙවුම් යන්ත්‍ර (සර්ච් එන්ජින්) හරහා සමාන රූප / එක වගේ මුහුණු තියන පුද්ගලයින්ගේ පින්තූර, වීඩියෝ සොයා ගත හැකි බවත් ඒ වීඩියෝවේ සිටින්නේ ඇය නොවේ නම් කලබල නොවන ලෙසත්ය. අදාළ පුද්ගලයා තිලිනිව බ්ලැක්මේල් කරපු නිසා සාක්ෂි විදියට ඔහු එවපු තර්ජනාත්මක පණිවිඩවල ස්ක්‍රීන්ෂොට් තියාගන්න කියලා හිතවතී කිව්වා. ඒ සාක්ෂිත් එක්ක අපරාධ විමර්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) සමාජ මාධ්‍ය ඒකකය වෙත පැමිණිල්ලක් යොමු කරන ලෙස තිලිනිට උපදෙස් දුන්නා. තවදුරටත් තිලිනිට ඒ පුද්ගලයා එක්ක කිසිම කතා බහක් තියාගන්න එපා කියලත් ඔහුව බ්ලොක් කරන්න කියලත් හිතවතී කිව්වා. හදිසියේ මුහුණ දෙන්න සිදු වුන මේ තත්ත්වය නිසා තිලිනි මානසිකව පීඩාවට පත් වෙලා නම්, 1926 විශේෂ මානසික සෞඛ්‍ය උපකාරක සේවාවට කථා කරන්න කියලත් හිතවතී අවසන් වශයෙන් ඇයට උපදෙස් දුන්නා.

පූර්වාරක්‍ෂක ඉඟි:

  • ඔබව බ්ලැක්මේල් කරන / තර්ජනය කරන පණිවිඩ හෝ ඇමතුම් වලට ප්‍රතිචාර නොදක්වන්න.
  • බ්ලැක්මේල් කරන පුද්ගලයින් විශ්වාස කළ නොහැකි බැවින් ඔවුන් ඉදිරිපත් කරන ඉල්ලීම් සාකච්ඡා කර ඉටු කිරීමට උත්සාහ නොකරන්න.
  • බ්ලැක්මේලර් (තර්ජනය කරන්නා) විසින් එවන ලද පණිවිඩවල ස්ක්‍රීන්ෂොට් ලබාගෙන ඒවා සාක්ෂි සඳහා සහාය වීමට සුරැකිව (සේව් කර) තබා ගන්න.
  • සයිබර් අපරාධයක් සම්බන්ධව පැමිණිල්ලක් ඇත්නම් ඒ බව පැහැදිලිව අදාළ සාක්ෂි (නිවැරදි ලින්ක්, ස්ක්‍රීන්ෂොට් යනාදිය) සහිතව සඳහන් කර CID එකට ගොස් භාර දිය හැක. නැතහොත් ලියාපදිංචි තැපෑලෙන් “අධ්‍යක්ෂ, අපරාධ විමර්ෂණ දෙපාර්තමේන්තුව, කොළඹ 01” යන ලිපිනයට හෝ ඊමේල් හරහා dir.ccid@police.gov.lk/report@cid.police.gov.lk වෙත පැමිණිල්ල යොමු කළ හැක..
  • මෙවැනි සිදුවීම් ඔබට මානසිකව දරා ගැනීමට අපහසු බව දැනේ නම් 1926 (මානසික සෞඛ්‍ය උපකාරක සේවාව) අමතන්න.