අවසන් වරට යාවත්කාලීන කලේ 2024/01/16

මෙහි එන නම් ගම් මනඃකල්පිතයි.

දර්ශි, විශ්ව විද්‍යාලයේ ‘නාට්‍ය හා රංග කලාව’ විශේෂිතව හදාරමින් සිටි අවසන් වසරේ සිසුවියකි. මේ අතරතුර ඇය එම විෂය පථයටම අදාළව අන්තර්ජාලයේ ප්‍රචාරණය වන රැකියා සඳහා ඉල්ලුම් කරමින් සිටියේ උපාධිය අවසන් වූ වහාම ඉන් එකක් හා සම්බන්ධ වීමට සැලසුම් කරමිනි.

එක් උදෑසනක ඇයට ඊමේල් පණිවිඩයක් ලැබුණි,

එහි සිංහල පරිවර්තනය පහත පරිදි වේ;

“ආයුබෝවන්,
අපගේ විලාසිතා නිර්මාණ ඒකකයේ දැනට පුරප්පාඩු වී ඇති ‘නිරූපිකාවකගේ (මොඩල්)’ තනතුර සඳහා බොහෝ අපේක්ෂකයින් අතරින් ඔබව තෝරාගෙන ඇති බව ඉතා සතුටින් දන්වමු. ඔබගේ සුදුසුකම් තහවුරු කර ගැනීම සඳහා අපි ඔබ සමඟ ස්කයිප් සම්මුඛ පරීක්ෂණයක් සූදානම් කිරීමට කැමැත්තෙමු. කරුණාකර සම්මුඛ පරීක්ෂණය සඳහා පහසු වේලාවක් වෙන් කර ගැනීමට අපගේ xxxxx ස්කයිප් ID එකට හැකි ඉක්මනින් රිප්ලයි කරන්න.
ඔබෙන් ඉක්මන් ප්‍රතිචාරයක් බලාපොරොත්තුවෙන් සිටිමු!
ස්තූතියි, ඔබට ජය!!
ජූඩ් ඔරියෝ
මානව සම්පත් අංශය
ෆැෂන් හා පැෂන්”

ඒ වන විට ඇය බොහෝ රැකියා සඳහා ඉල්ලුම් කර තිබූ බැවින්, මෙම සමාගමේ පුරප්පාඩු සඳහා ඉල්ලුම් කළ බව ඇයට ද මතක නැත. කෙසේවෙතත් සමහර උපාධිධාරීන් පවා රැකියා විරහිතව සිටින කාලයක මෙය හොඳ අවස්ථාවක් වනු ඇතැයි ඇයට සිතුනා. මින් බොහෝ සතුටට පත් වූ ඇය ස්කයිප් හරහා ඔවුන් සම්බන්ධ කර ගැනීමට නොඉවසිල්ලෙන් සිටියා.

සමාගම ඉල්ලා සිටි පරිදි, දර්ශිට සම්මුඛ පරීක්ෂකවරියක් සමඟ සම්බන්ධ වීමට හැකි විය. එහිදී සම්මුඛ පරීක්ෂකවරිය, දර්ශිට තමන් ගැන කෙටි හැඳින්වීමක් කරන ලෙස ඉල්ලා සිටියා. දර්ශි ඔවුන්ගේ ප්‍රවේශය ගැන සෑහීමකට පත් වූ අතර ඊට විශ්වාසයෙන් යුතුව මුහුණ දුන්නා. මෙම කාන්තාව දර්ශිගේ වත්මන් තත්ත්වය ගැන ඉතා අවබෝධයෙන් යුතුව, උපාධිය අවසන් වන තුරු ඔවුන්ට එම තනතුර ඇය වෙනුවෙන් තබා ගත හැකි බව කියා සිටියා. නමුත් ඒ සඳහා ඉහළ කළමණාකාරිත්වයේ අනුමැතිය ලබා ගත යුතු හෙයින් ඇදෙන තද හෝ විනිවිද පෙනෙන ඇඳුම් ඇඳ ගත් ඡායාරූප ටිකක් අවශ්‍ය බව දර්ශිට දැන්වූවා.

“කෙල්ලේ, මේ චාන්ස් එක මිස් කර ගන්න එපා”දර්ශිගේ මනස ඇයට කීවා. ඒ අනුව ඇය ඔවුන්ගේ හිත දිනා ගෙන රැකියාව තහවුරු කර ගැනීමට තම සරාගී පින්තූර කීපයක් යැවීමට තීරණය කළා. මේ හරහා ප්‍රසිද්ධියට පත්ව පසු කලෙක ඉහළ ඉල්ලුමක් ඇති සිනමා තරුවක් වීම ගැන ඇය සිහින දකින්නට පටන් ගත්තා.

ඇය එම පින්තූර යැවූ සැණින්, සමාගමේ කළමණාකරුවෙකුගෙන් ඇයට ඇමතුමක් ලැබුණේ අයදුම්කරුවන් විසින් ඔවුන් වෙත බොහොමයක් එඩිට් කරන ලද / ව්‍යාජ පින්තූර එවා ඇති බැවින් බඳවා ගැනීමේ කටයුතු ඉදිරියට කර ගෙන යාම සඳහා ඇයට වීඩියෝ ඔන් කර ඇගේ උඩු කය වසා ඇති ඇඳුම ඉවත් කර සැබෑ සුන්දරත්වය පරීක්ෂා කර බැලීමට ඉඩ දිය යුතු බව පවසමිනි.

මෙහිදී දෙවරක් නොසිතා දර්ශි පැවසුවේ “මට කණගාටුයි…මට ඒක කරන්න ටිකක් අමාරුයි”.

එවිට කළමණාකරුට කේන්ති ගොස් ඔහු තුළ වූ සැබෑ වෘකයා බැටළු හමෙන් එළියට පැන්නා. ඔහු ඇමතුම විසන්ධි කර ඇයට පණිවුඩයක් යැව්වේ “ඔයාගේ නිරුවත් ඇඟ මට පෙන්වන්න බැරි නම්, ඔයා එවපු පින්තූර මං එඩිට් කරලා අසභ්‍ය වෙබ්අඩවි වලට දානවා. මෝඩ වෙන්න එපා. එක්කෝ මට පෙන්වන්න නැත්නම් මුළු ලෝකේටම පෙන්වන්න. ඔයා කැමති නම්, පැය 24 ක් ඇතුළත මට රිප්ලයි කරන්න. නැත්නම්, ඔයාගේ ජීවිතය විනාශ කරන්න අවශ්‍ය පියවර මං ගන්නම් ”. යනුවෙන්!

දර්ශිට කර කියා ගන්න දෙයක් හිතා ගන්න බැරි වුණා. ඇය මුළු කතාවම ඇගේ හොඳම මිතුරිය වූ අචිනිට කිව්වා. අචිනි ඇයට මේ ගැන උපදෙසක් ගන්න කියලා හිතවතී උපකාරක සේවයේ දුරකථන අංකය දුන්නා. දර්ශි හිතවතී අමතා ඇගේ ප්‍රශ්නය පැහැදිලි කළා. එම සමාගම සමඟ ඉදිරියේදී සම්බන්ධතා මඟ හැර, මෙවැනි අපරාධකරුවන් පිළිබඳව විමර්ශනය කිරීම සඳහා සී.අයි.ඩී. සමාජ මාධ්‍ය පැමිණිලි අංශයට dir.ccid@police.gov.lk ඊමේල් හරහා පැමිණිලි කරන ලෙස හිතවතී ඇයට උපදෙස් දුන්නා. තවද, ඇයගේ පින්තූර කිසිවක් අන්තර්ජාලයේ පළ වී ඇත්නම් ඒවා වාර්තා කර ඉවත් කිරීමට සහය සඳහා වහාම හිතවතී අමතන ලෙස උපකාරක සේවය දර්ශීට කියා සිටියා.

පූර්ව ආරක්ෂක උපදෙස්:

  • ඔබට ඔන්ලයින් රැකියා අවස්ථා ලැබෙන විට, ඒවාට පිළිතුරු දීමට පෙර අදාළ සමාගම ගැන අන්තර්ජාලයේ සොයා බලන්න. ඒවා ව්‍යාජද නැද්ද යන්න පරීක්ෂා කරන්න. (ඔබ මීට පෙර අයදුම් නොකළ රැකියාවක් නම්, එම අවස්ථාව බොහෝ විට වංචාවකි)
  • ඔබේ පින්තූර / වීඩියෝ හෝ ඔබට හානියක් වන වෙනත් අන්තර්ගතයන් අන්තර්ජාලයේ පළ කර ඇත්නම් ඒවා වාර්තා කර ඉවත් කිරීමට සහය සඳහා හිතවතී අමතන්න.
  • සයිබර් අපරාධයක් සම්බන්ධව පැමිණිල්ලක් ඇත්නම් ඒ බව පැහැදිලිව අදාළ සාක්ෂි (නිවැරදි ලින්ක්, ස්ක්‍රීන්ෂොට් යනාදිය) සහිතව සඳහන් කර CID එකට ගොස් භාර දිය හැක. නැතහොත් ලියාපදිංචි තැපෑලෙන් “අධ්‍යක්ෂ, අපරාධ විමර්ෂණ දෙපාර්තමේන්තුව, කොළඹ 01” යන ලිපිනයට හෝ ඊමේල් හරහා dir.ccid@police.gov.lk වෙත පැමිණිල්ල යොමු කළ හැක.