අවසන් වරට යාවත්කාලීන කලේ 2022/10/07

මෙහි එන නම් ගම් මනඃකල්පිතයි.

කුසල් තම පවුලේ අය සමඟ අලුත් අවුරුද්ද සමරමින් සිටින විට ඔහුගේ මිතුරියක වන නදුනි දුරකථනයෙන් කතා කොට ඔහුට සුභ පැතුවා. නදුනි දිගු කලක් තිස්සේ දැන සිටි ඇගේ මිතුරා සමඟ බොහෝ දේ කතා කරමින් සිටියදී එක පාරටම ඇසුවේ,

අඩෝ, එදා රෑ බීලද හිටියේ?

ඇය මොන රැයක් ගැන කියවන්නේද යන්න ඔහුට ප්‍රහේළිකාවක් වුවද දිගින් දිගටම ඇය මිතුරාට දොස් පවරන්නට විය;

අර හඳේ ඉන්නවා වගේ හරි ආදරෙන් චැට් කරපු රෑ! මට හිතුණා මොකක් හරි වයර් එකක් මාරු වෙලා තමයි කියලා 😀

ඇය කිව්ව කතාවට අනුව කුසල්ට දැන ගන්නට ලැබුනේ යම් පුද්ගලයෙකු වයිබර් එකේ ඔහුගේ ඡායාරූප පැතිකඩ (ප්‍රොෆයිල්) පින්තූර ලෙස යොදා ගනිමින් තම මිතුරන්ද එකතු (ඇඩ්) කර ගෙන ඔහු මෙන් පෙනී සිටින වයිබර් ගිණුමක් පවත්වා ගෙන යන බවයි. ඔහු සහ ඔහුගේ මිතුරන් ගැන දන්නා අයෙකු විසින් ඔහු ගැන නරක හැඟීමක් ඇති කිරීම සඳහා මෙය කර ඇති බව ඔහුට වැටහුණා. ඒත්, වයිබර් ගිණුමක්වත් නැති අසරණ කුසල් මේ තත්ත්වයට ප්‍රතිචාර දක්වන්නේ කොහොමද කියන එක ගැන තරමක් කලබල විය.

නදුනි ඔහුට සහය ලබා ගැනීම සඳහා හිතවතී වෙත යොමු කළා. එසැණින් ඔහු හිතවතී උපකාරක සේවය අමතා සිද්ධිය විස්තර කළා. මෙම ව්‍යාජ ලෙස පෙනී සිටින වංචාවට එරෙහිව කුසල්ට ගත හැකි විකල්ප ගැන හිතවතී ඔහුට මඟ පෙන්වීමක් කළා. ඒ අනුව ඔහුට අදාළ කරුණ ගැන වයිබර් ආයතනය වෙත වාර්තා (රිපෝට්) කර ගොඩින් බේරා ගත හැකි බවත් නැතිනම් පොලිසියේ පැමිණිල්ලක් ගොනු කිරීමෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටද හැකි බවත් දැනුවත් වුනා. අවසානයේ තමන්ට නොබියව ඉදිරියට යාමට විශ්වාසය ලබා දීම ගැන කුසල් හිතවතීට ස්තූති කළා.

පූර්ව ආරක්ෂක උපදෙස්:

  • මේ වගේ සිද්ධියක් වුනොත් කලබල වෙන්න එපා. අද කාලයේ සෑම ඇප් එකකම මේ වගේ නරක හැසීරීම් සිදු වෙනවා. ඒවගේම ඒවා රිපෝට් කරන්නත් පහසුකම් ලබාදී තිබෙනවා. ඒ නිසා සන්සුන්ව ගැටලුවට සුදුසුම පිළිතුර සොයා ගන්න, හිතවතී ගෙන් උදව් ලබා ගන්න.
  • වයිබර් හි යමෙකු ඔබ ලෙස (ව්‍යාජ අයුරින්) පෙනී සිටී නම්, https://www.hithawathi.lk/si/help-center-si/social-media/viber/reporting-on-viber/හි දැක්වෙන පියවර අනුගමනය කර ඒ ගැන වාර්තා (රිපෝට්) කරන්න. අවශ්‍ය නම් සහය සඳහා හිතවතී අමතන්න.
  • මේ පිටුපස ඇත්ත වශයෙන්ම සිටින්නේ කවුරුන්දැයි සොයා බලා එම පුද්ගලයාට දඬුවම් කිරීමට අවශ්‍ය නම් (නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට), ඔබ අයත් වන පොලිස් ස්ථානයට ගොස් පැමිණිල්ලක් දැමීම හෝ telligp.police.lk හරහා ඔන්ලයින් පොලිසීයට (category එක ‘Cybercrime’ ලෙස තෝරා අදාළ සාක්ෂිද අමුණා) පැමිණිලි කළ යුතුවේ.