අවසන් වරට යාවත්කාලීන කලේ 2024/02/01

 

සුන්දර යෞවනය අනාරක්‍ෂිත අන්තර්ජාලයෙන් කිලිටි නොකරමු……..

“තමන් හිසට තම අතමය සෙවනැල්ල” සිහියේ තබා අපේ පරිස්සම අපිම සලසගමු….. එසේ නොවුනොත් ඔබේ අන්තර්ජාල ආරක්‍ෂණයේ ප්‍රථම හතුරා ඔබම වීම නැවැත්විය නොහැකියි….

නොදැන ගොස් අතරමං නොවන්නට,:

1. ඔබට සබැඳියක් (Link / ලින්ක්) ක්ලික් කිරීමට අවශ්‍ය වන සෑම විටම, ක්ලික් කිරීමට පෙර,

• සබැඳියේ ඩොමේන් නාමය,
• ඔබ අපේක්ෂා කරන සබැඳියක්ද වග,
• සත්‍ය URL (ලින්ක්) එකක්ද වග

නිබඳවම පුරුද්දක් ලෙස පරීක්ෂා කළ යුතුය.

2. ඔබ පාවිච්චි කරන මෘදුකාංග නිතරම යාවත්කාලීන (අප්ඩේට්) කර තබා ගත යුතුය.

3. හෝඩියේ අක්ෂර, ඉලක්කම්, විශේෂ අක්ෂර, සංකේත යනාදියේ එකතුවකින් කෙනෙකුට අනුමාන කළ නොහැකි මුරපද (පාස්වර්ඩ්) විවිධ පද්ධති හා ගිණුම් සඳහා වෙන් වෙන්ව සාදා ගත යුතුය. එමෙන්ම එය ඔබගේ දත් බුරුසුව වෙනකෙකු හා බෙදා නොගන්නා සේ ප්‍රවේසම්ව පාවිච්චි කළ යුත්තකි.

4. මුරපදයට අමතර ස්තර ආරක්ෂාව (Extra layer of security) ලබා දෙන ද්වි-සාධක සත්‍යාපනය (ටූ-ෆැක්ට ඔතෙන්ටිකේෂන්) හැකි සෑම විටම සක්‍රීය කර ගත යුතුය.

5. ඔබේ පෞද්ගලික තොරතුරු කෙනෙකු ඉල්ලූ පමණින් දිය යුතු නොවේ. සොයා බලා අත්‍යවශ්‍යම නම් පමණක් ඒවා ලබා දිය හැකිය.

6. ඔබ ඔන්ලයින් මිතුරකු හමුවීම දෙමව්පිය භාරකරුවකු නොදැනුවත්ව නොකළ යුතුයි. ඔවුන් දුකට පිහිට වෙන, උදව් කරන මුවාවෙන් ඔබව තවත් දුකකට, භයානක කරදරයකට හෝ අපයෝජනයකට යොදා ගත හැකිය.

7. අන්තර්ජාලයේ ඇති සියලු පුවත් සත්‍ය යැයි කිසිවිට සිතිය නොහැකිය. පිළිගැනීමට පෙර ඇත්ත නැත්ත සෙවිය යුතුය.

8. ඔබ නොදන්නා කෙනෙකුගේ USB හෝ වෙනත් දත්ත ගබඩා කිරීමේ උපාංග කිසි විටෙකත් ඔබගේ පරිගණකයට සම්බන්ධ නොකළ යුතුයි.

9. පොදු Wi-Fi භාවිතයේ දී VPN භාවිතා කිරීමට හැමවිටම මතක තබා ගත යුතුයි.

10. පරිගණකයේ සියලු දත්ත නිතරම උපස්ථ (Backup) කිරීම කළ යුතුයි.

11. ඔබට යමක් බාගත (ඩවුන්ලෝඩ්) කිරීමට අවශ්‍ය නම් සත්‍යාපිත, විශ්වාසදායක අඩවි වෙත පමණක් පිවිසිය යුතුයි. ‘https’ භාවිතා කරන්නේ නම්, වෙබ් ලිපිනය තීරුවේ ඉබි යතුරක සංකේතයක් ඇත්නම් එය ආරක්ෂිත ලෙස සැලකිය හැකි වෙබ් අඩවියකි. ව්‍යාජ හෝ වංචනික වෙබ් අඩවි හඳුනා ගන්නා ක්‍රම කිහිපයත් දැනගන්න.

12. මාර්ගගත (online) බැංකු කටයුතු සහ ඔබේ ණය (ක්‍රෙඩිට්) කාඩ්පත භාවිතා කර මිලදී ගැනීම් (shopping) අනාරක්‍ෂිත හෝ පොදු ජාල (public networks) හරහා සිදු නොකරන්න. ඔන්ලයින් බැංකු කටයුතු පරිස්සමින් කරන හැටි මෙතැනින් බලන්න.

13. ඔබට යම් ත්‍යාගයක් / ලොතරැයියක් දිනූ බවට නැත්නම් ඔබට යම් වෙබ් අඩවියක හෝ ඔබේ ජංගම දුරකථන සේවා දායකයා (mobile service provider) Millionth visitor ලෙසට සුභ පතමින් විස්තර ලබා දෙන ලෙස ලැබෙන පණිවිඩ නොසලකා හරින්න. ඔවුන්ගේ ප්‍රධාන අරමුණ ඔබේ තොරතුරු ඇසුරින් ඔබෙන් යමක් ලබා ගැනීම පමණක් බව සිතේ තබා ගන්න.

14. හිරිහැර කිරීම (බුලීං); පහත් හෝ අපහාස පණිවිඩ එවීම වැනි ඒවාට ප්‍රතිචාර දැක්වීමට නොයන්න. ඔබට එවැනි දේ ලැබෙන්නේ නම්, වහාම ඔබේ දෙමාපියන් හෝ පාසලේ ගුරුවරයෙකු සමඟ පවසන්න.

15. ඔබේ ඕනෑම අන්තර්ජාල කරදරයක දී නොබියව හිතවතී අමතන්න.


මූලාශ්‍ර :
* https://www.wordfence.com/blog/2022/10/national-cyber-security-awareness-month-you-could-be-the-biggest-threat-to-your-wordpress-site/
* https://www.hithawathi.lk/si/cyber-security-booklet-si/