අවසන් වරට යාවත්කාලීන කලේ 2021/02/01

ඔබ කවදාහරි කළු සල්ලි නැත්නම් බ්ලැක් මනි ගැන අහලා තියෙනවද?
ගොඩක් දෙනෙක් මේකට ‘ඔව්’ කියයි.
ඇත්තටම ඒ සල්ලි ‘කළු’ වෙන්නේ, ඒවා හම්බකරපු විදිහ සම්පූර්ණයෙන්ම නීති විරෝධී හින්දා.
ඒ කියන්නේ පාතාල ක්‍රියාකාරකම්, ස්කෑම් වංචා නැත්නම් වෙනත් වැරදි ක්‍රම හරහා රැස් කර ගත්ත සල්ලි.
ඒත්,
ඔබ දන්නවද වංචනිකයෝ ඒ අපිරිසිදු සල්ලි පිරිසිදු කරලා, ඔවුන්ගේ අවශ්‍යතා සඳහා නීත්‍යානූකූලව භාවිතා කරන්න උත්සාහ දරනවා කියලා?
මේකට ඔබ දෙන උත්තරය එකිනෙකාට වෙනස් වෙන්න පුළුවන්.
ඒක එච්චරම පැහැදිලි නෑ නේද?
ඒ ක්‍රියාවලියට කියන්නේ මුදල් විශුද්ධිකරණය කියලා, ඉංග්‍රීසියෙන් නම් මනි ලොන්ඩරින්.
හරි..ඉතින් අපිට පාන්ද? ඒකේ අපිට අදාළත්වයක් නෑනේ කියලා
ඔබ හිතයි,
ඔබම ඒ මුදල් විශුද්ධිකරණයේ කොටසක් වෙන දවස වෙනකං;
ඒ කියන්නේ අපරාධකාරයෝ ඔවුන්ගේ ජරා සල්ලි ටික ක්ලීන් කරලා ඒවා නීත්‍යානුකූල කරගන්න ඔබව භාවිතා කරන කොට.
මේක සයිබර් අවකාශයේ නැත්නම් අන්තර්ජාලයේ රහසිගතව වෙන වැඩක්.
ඒ කොහොමද?
ඔවුන් ඔබේ හිත දිනා ගන්න පුළුවන් විදිහේ සුන්දර, ඔබට වාසිදායක කථා කියලා නැත්නම් වෙනත් මායම් පාවිච්චි කරලා ඔබ සමඟ චැට් කරයි, නැත්නම් ඊමේල් එවන්න පුළුවන්.
ඒ ඔක්කොම ඔබව දැලේ දාගන්න කියන කතා!
වංචාකරුවෝ හැම වෙලාවෙම රඟපාන්න, ආකර්ෂණීය විදියට කතා කරන්න හරි දක්ෂයි.
ඉතින් ඔවුන් ඔබට ආදර බර වචනවලින් කතා කරයි, ඔයා ගැන හරියට හිතනවා කෙයා කරනවා කියලා බොරුවට පෙන්නයි.
අන්තිමට ඔවුන්ට මොකක් හරි ප්‍රශ්නයක් හින්දා බැංකු ගිණුමක් අරින්න බැහැ කියලා, කරුණාකරලා ඔවුන්ගේම සල්ලි ඔබේ බැංකු ගිණුම හරහා කාට හරි යවන්න නැත්නම් ඔවුන්ට ගෙන්නලා දෙන්න කියලා ඉල්ලීමක් කරයි.
ඒක යාළුකමින් වැඩේ කරගන්න විදිහක්.
සමහර වෙලාවට ඒක, ලේසි‌යෙන් කරන්න පුලුවන්, ඔන්ලයින් රැකියා අවස්ථාවක් විදිහටත් ඒවි.
එතනදි ඔවුන් ඔබට කරන්න කියන්නේ ‘මනි ග්‍රෑම්’, ‘වෙස්ටර්න් යුනියන්’ හෝ වෙනත් ප්‍රසිද්ධ මුදල් යැවීමේ සහ ලැබීමේ ක්‍රම භාවිතා කරලා ඔවුන් කියන අයට සල්ලි යවන්න නැත්නම් ඔවුන් වෙනුවෙන් ඒවා ගෙන්නලා දෙන්න වගේ වැඩවලට,
මේවට, ඔබට අනිවාර්යයෙන්ම හොඳ කමිෂන් එකක් ගෙවනවා, ඊටත් ඒ වැඩවලට පොඩ්ඩක්වත් මහන්සි වෙන්න ඕනේ නෑ.
හැබැයි මේ ලේසි ජොබ් එක ඔබට කරන්න හම්බවෙන්නේ,
පොලිසිය ඔබට මාංචු දාන්න හොයා ගෙන එනකං විතරයි.
එතකොට තමයි ඔබට තේරෙන්නේ අපරාධකරුවෝ ඔබේ අහිංසක කමින් අයුතු ප්‍රයෝජන අරගෙන කියලා.
මුදල් විශුද්ධිකරණයට අපරාධකරුවෝ නානප්‍රකාර ක්‍රම සහ විධි උපයෝගී කර ගන්න පුළුවන්.
මේ ක්‍රම දෙක විතරක් නෙමේ.
කෙනෙක්ට හිතෙන්න පුළුවන්,
ඒ සල්ලි ඇයි ඔවුන්ට තනිවම පිරිසිදු කර ගන්න බැරි කියලා
ඔවුන් දැනටමත් බ්ලැක් ලිස්ට් වෙලා ඇත්තේ.
ඔවුන්ගෙන් සමහරෙක්ට තනියම බැංකු ගිණුමක්වත් අරින්න බෑ.
ඒ ඔවුන්ගේ ආදායම් මාර්ගය පෙන්නන්න බැරි නිසා
නැත්නම් කලින් කරලා තියෙන වංචනික ක්‍රියා හින්දා මූල්‍ය ආයතනවලින් ඔවුන්ව ප්‍රතික්ෂේප කරනවා
සමහරවිට ඔවුන් තමන්ගේ ඇඟේ ජරාව ගාගන්න කැමති නැතුවත් ඇති.
මොනා වුනත්,
අන්තිමට පොලිසිය දොස් පවරන්නේ ඔබට,
අහිංසක ඔබට
වංචනික මුදල් භාවිතා කරලා ගනුදෙනු කරාට
(මතක තියා ගන්න, නොදන්නා අයත් එක්ක ‘කළු සල්ලි ගනුදෙනු’ කරේ ඔබ කියලා)
ඉතින් කරුණාකරලා
‘කවදාවත් අහුවෙන්න එපා’
ඒ මුදල් විශුද්ධිකරණය!
හිතවතී