අවසන් වරට යාවත්කාලීන කලේ 2022/10/06

මෙහි එන නම් ගම් මනඃකල්පිතයි.

විශ්මා සහ රන්දික හරිම ආදරෙන් හිටපු අලුත බැඳපු ජෝඩුවක්. එයාලා ගත කලේ හරිම සරල ජීවිතයක්. ඒ වගේම තමයි ඒ දෙන්නා හරිම සතුටින් හිටියෙ. විශ්මා ගෙදර එයාගෙම ව්‍යාපාරයක් කලේ. රන්දික පෞද්ගලික ආයතනයක තමයි වැඩ කලේ.

බලාපොරොත්තු නොවුන වෙලාවක විශ්මාට අමුතු මැසේජ් සහ මිස් කෝල් වගයක් තියනවා ඈ දැක්කා. එයා ඒක දැක්ක ගමන් අනිත් පැත්තට කෝල් කරලා විස්තර අහනවා.

විශ්මා: හෙලෝ කව්ද මේ? මට කෝල් වගයක් තිබ්බා මේ නම්බර් එකෙන්
නාඳුනන අමතන්නා: මම කව්ද කියලා ඔයාට වැඩක් නෑනේ. ඔයාගෙ වැඩක් බලා ගන්න

විශ්මා කෝල් එක කට් කරලා වෙච්ච් දේ ගැන කල්පනා කර කර හිටියෙ. එයා හිටියෙ හරිම කේන්තියෙන්. ඔය වෙලාවේ ආශා කියලා එයාගෙ යාළුවෙක්ගෙන් කෝල් එකක් එනවා.

ආශා: හායි විශ්මා, ඔයාට මොකද අනේ වෙලා තියෙන්නෙ. ඇයි ඒ වගේ දේවල් කරන්නෙ
විශ්මා: (කලබලයෙන්) ඇයි මොකද? මම මුකුත් දන්නෙ නෑ ප්ලීස් මට කියන්න මොකක්ද කියලා?

ඊට පස්සෙ ආශා කිව්වා එයාට ෆේස්බුක් ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් එකක් අවා කියලා විශ්මාගෙන්. එයා ඒක ඇක්සෙප්ට් කරලා බැලුවම විශ්මාගේ ප්‍රොෆයිල් එකේ නිරුවත් පින්තූර සහ වීඩියෝ ගොඩක් තියනවා කිව්වා. විශ්මාට එතකොට තේරුනා අර නාඳුනන කෝල් එක ගැන.

එයා ඉක්මනින් කෝල් එකක් ගත්තා අර කලින් මිස් කෝල් තිබ්බ නම්බර් එකට

විශ්මා: ඔයා මොනවද කරන්නෙ, මොනවද ඔයාට ඕන?
නාඳුනන අමතන්නා: ඔව් මමයි ඒක කරේ, ඔයාට ඒක අයින් කර ගන්න ඕන නම් මට බැංකුවට රු.500,000/= ක් දාන්න.

විශ්මා ඊළඟට මොකක්ද කරන්න ඕන කියලා දැනගන්න හිතවතී ට කථා කරා. හිතවතී ඇයට දුන් උපදෙස් අනුව

  • ව්‍යාජ ෆේස්බුක් ගිණුම ඉවත් කිරීමට පමණක් අවශ්‍ය නම් (ගොඩින් බේරා ගැනීමට වැනි) එය වාර්තා (රිපෝට්) කළ හැක.
  • මෙය පිටුපස ඇත්තටම සිටින තැනැත්තා සොයා බලා ඔවුන්ට එරෙහිව නීතීමය පියවර ගැනීමට (දඬුවම් ලබා දීමට) අවශ්‍ය නම් ඇය අයත් වන පොලිස් ස්ථානයේ හෝ අපරාධ විමර්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) සමාජ මාධ්‍ය පැමිණිලි අංශයේ පැමිණිල්ලක් දැමීම සිදු කළ හැක.

ඉන්පසු ඇය හිතවතී දුන් උපදෙස් පරිදි පැමිණිල්ල අපරාධ විමර්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකතුමාට ඊමේල් කරා. ඒ වගේම එයා මහත්තයත් එක්ක ගියා CID එකේ වැඩ කරන අඳුරන නිලධාරියෙක් හම්බවෙන්න. CID එකට පුළුවන් වුනා මේ පුද්ගලයා ගැන සියලු විස්තර හොයාගන්න. ඔවුන් මොහුව හොයාගන්න කණ්ඩායමක් එක්ක ගියා. අන්තිමේදී ඒ කණ්ඩායමට මේ පුද්ගලයාව වැඩිදුර විමර්ෂණ කටයුතු සඳහා අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබුණා.

නිසි උපදෙස් ලබා දීම ගැන ඇය අන්තිමේදී හිතවතී ට කථා කරලා ගොඩක් ස්තූති කරා.

පූර්වාරක්ෂක උපදෙස්:

  • ව්‍යාජ ගිණුමක් හෝ වෙනත් අයෙකු සේ පෙනී සිටින ගිණුමක් වාර්තා (රිපෝට්) කිරීම සඳහා https://www.hithawathi.lk/si/help-center-si/social-media/facebook/fake-accounts/ හි දක්වා ඇති පියවර අනුගමනය කරන්න. අවශ්‍ය නම් සහය සඳහා හිතවතී අමතන්න.
  • සයිබර් ගැටළු විසඳාගැනීමට https://www.hithawathi.lk/si/useful-contact-information-si/ හි දක්වා ඇති අදාළ ආයතන හා සම්බන්ධ වන්න.
  • සයිබර් අපරාධයක් සම්බන්ධව පැමිණිල්ලක් ඇත්නම් ඒ බව පැහැදිලිව අදාළ සාක්ෂි (නිවැරදි ලින්ක්, ස්ක්‍රීන්ෂොට් යනාදිය) සහිතව සඳහන් කර CID එකට ගොස් භාර දිය හැක. නැතහොත් ලියාපදිංචි තැපෑලෙන් “අධ්‍යක්ෂ, අපරාධ විමර්ෂණ දෙපාර්තමේන්තුව, කොළඹ 01” යන ලිපිනයට හෝ ඊමේල් හරහා dir.cid@police.lk වෙත පැමිණිල්ල යොමු කළ හැක.
  • මෙවැනි සිද්ධීන් නිසා ඔබ මානසිකව ව්‍යාකූල තත්ත්වයකට පත් වී ඇත්නම් 1926 (ජාතික මානසික සෞඛ්‍ය ආයතනය) හෝ සුමිත්‍රයෝ අමතන්න.