අවසන් වරට යාවත්කාලීන කලේ 2022/10/17

මෙහි එන නම් ගම් මනඃකල්පිතයි.

සීතල ඉරිදා උදෑසනක රෙහාන් ඇඳ මත සිටියේ අනිත් අයගේ ෆේස්බුක් කතා (ස්ටෝරීස්) බලමින්. පාළුවෙන් හිටිය ඔහුට හදිසියේම එෆ්බී මැසෙන්ජර් හරහා නොදන්නා, ඒත් චැට් කර බැලීමට කැමත්තක් හිතෙන සුරූපී තරුණියකගෙන් වීඩියෝ ඇමතුමක් ලැබුණා.

ඇගේ හඬ ඔහුගේ කනට මී පැණි සේය. ඈ සිහින් සිරුරකින් යුතු වූ අතර චූටී කර පටි සහිත ඇඟට හිරවූ කොට බ්ලවුස් එකක් ඇඳ සිටියා. මුලින්ම ඇය තමන්ව අසල්වැසි රටක වාසය කරන අම්රිතා ලෙස හඳුන්වා දුන්නා. රෙහාන්ගේ ෆේස්බුක් ගිණුමේ පළ කර ඇති විචිත්‍ර සිතුවම් ගැන ඇය දැඩි උනන්දුවක් දක්වන බවත්, ඒවා ගැන වැඩි විස්තර දැන ගැනීමට අවශ්‍ය බවත් හුරතල් ලීලාවෙන් කිව්වා.

අම්රිතා: ඔයා ඒවා විකුණනවාද?
රෙහාන්: හ්ම්ම්..මං ඒක බිස්නස් එකක් විදිහට කරන්නේ නෑ, ඒක නිකං කාලේ ගෙවාගන්න විනෝදාංශයක් විතරයි.
අම්රිතා: වාව්!.. කාලේ ගෙවා ගන්න නියම ක්‍රමයක්..මට එකක් ෆ්‍රී දෙන්න පුලුවන්ද?? (ලැජ්ජාවෙන් ඇඹරෙමින්)
රෙහාන්: ම්ම්ම්, ඔයා වැඩියෙන්ම කැමති කොයි එකටද?
අම්රිතා: මං කැමතියි ඔයාගේ සිතුවමකට, ඇඳුම් නැති..හහ් හහ් හා

ඇය තවමත් ආගන්තුක චරිතයක් වුනත් ඇගේ විවෘත සහ ඝෘජු ප්‍රවේශය නිසා ඔහුට හුරු පුරුදු කෙනෙක් සේ ඇයව දැනුනා. ඒ මොනවා වුනත්, ඈ සරාගී කතා කියමින් ඇඟලා සිටි ඇඳුම් ටිකෙන් ටික ඉවත් කිරීමට පටන් ගත් අතර ඔහුගේ නිරුවත් පිරමි ස්වරූපයද පෙන්වන ලෙසට ඔහුව පොළඹවා ගත්තා. රෙහාන්ගේ සෙල්ලක්කාරකමද අවදි වූ අතර ඔහු දෙවඟනක් වැනි තරුණියට කීකරු වුණා.

.

ඒ ආකර්ෂණීය සොඳුරු මොහොත විනාඩි පහකින් පමණ නිමා වුණා. ඉක්මනින්ම නැවත ඔහු වෙත පැමිණෙන බවට පොරොන්දු වෙමින් ඇය ඇමතුම විසන්ධි කළා. රෙහාන් ඈ එනතුරු ටික වේලාවක් බලා සිටි අතර පුදුමයට පත් කරවමින් වට්ස්ඇප් හරහා අම්රිතාගෙන් ලැබුණු වීඩියෝ පටය හා පණිවුඩය ඔහුගේ සිහිනය තත්පරයකින් බොඳ කර දැමුවා.

රෙහාන්ට නරඹන්නට වූයේ අම්රිතා විසින් ඇගේ සූසැට මායම් යොදා මිනිත්තු කීපයකට පෙර පටිගත කර තිබූ ඔහුගේම නිරුවත් වීඩියෝ පටයයි. තවද ඇගේ බ්ලැක්මේල් පණිවුඩය මඟින් දී ඇති ගිණුම් අංකයට රුපියල් 100,000/- ක් තැන්පත් කරන ලෙස අනතුරු අඟවා තිබුණා, එසේ නොකළ හොත් ඇය ඔහුගේ සියලුම මිතුරන් අතර එය ශෙයා කර ලීක් කරන බවද දන්වා තිබුණා.

බියෙන් වෙවුලූ රෙහාන්ට හීන් දාඩිය දාන්න පටන් ගත්තා. අතේ සතේ නැතුව ඉන්න ඔහුට මේ ලැජ්ජාව එක්ක තම පවුලට, රැකියා ස්ථානයට වගේම පාරේ බැහැලා යන්නේ කොහොමද කියන එක ගැන හිතා ගන්න බැරි වුණා. මේ ගැන කිසිදු වැටහීමක් නොතිබුණු ඔහු කළ හැක්කේ කුමක්ද කියා අන්තර්ජාලයේ සොයා (සර්ච් කර) බැලුවා. ඒ අනුව, හමුවූ හිතවතී වෙබ් අඩවියේ ක්‍ෂණික දුරකථන අංකයට ඔහු කතා කළා. ඊට උත්තර දුන්නේ නියෝජිතවරියක්. සිදු වූ දේ කීමට ඔහුට ලැජ්ජාවක් දැනුනද නියෝජිතවරියගේ තාර්කික කරුණු විමසීම්, ඔහුට ඇත්ත කතාව වසන් කිරීමට ඉඩ දුන්නේ නැහැ. නියෝජිතවරිය එය මිනිසුන්ගේ දුර්වල තැන් ස්පර්ශ කර රවටන “ප්‍රේම වංචාව (රොමැන්ස් ස්කෑම්)” ලෙස හැඳින්වෙන බවත් ඔහු එම වංචනිකයින්ගේ එක් ගොදුරක් පමණක් බවත් පැහැදිලි කළා. අදාළ වංචනික තැනැත්තියව බ්ලොක් කරන ලෙසත් මෙම වංචා (ස්කෑම්) ගැටලුව ෆේස්බුක් / වට්ස්ඇප් වෙත වාර්තා (රිපෝට්) කිරීමේ ක්‍රියාවලිය සඳහා අවශ්‍ය කරන සබැඳි (ලින්ක්) සහ තිරපිටපත් (ස්ක්‍රීන්ෂොට්) එවන ලෙසත් හිතවතී ඔහුට දන්වා සිටියා. රිපෝට් කිරීම සඳහා අවශ්‍ය තොරතුරු ඔහු විසින් ලබා දුන් අතර දින කිහිපයකට පසු රෙහාන්ට ෆේස්බුක් / වට්ස්ඇප් මඟින් ඒ සඳහා නිසි පියවර ගෙන ඇති බව දන්වා හිතවතීගෙන් ඊමේල් පණිවුඩයක් ලැබුණා. හිතවතීගේ ප්‍රතිචාරය ඔහුට මහත් අස්වැසිල්ලක් වූ අතර එතැන් පටන් සයිබර් අවකාශයේදී නාඳුනන අය සමඟ කටයුතු කිරීමේදී ආරක්ෂිතව සිටීමට ඔහු අදිටන් කර ගත්තා.

පූර්ව ආරක්ෂක උපදෙස්:

  • ඔබ ඔන්ලයින් චැට් කරන්නේ කා සමඟද යන්න ගැන සැලකිලිමත් වන්න, හේතුව ඔවුන්ගේ අරමුණ කුමක්ද (කාලය ගෙවීමටද, වංචාවටද යනාදී) පිළිබඳව අපි නොදැනුවත් විය හැකියි.
  • කිසියම් හේතුවක් නිසා කාන්දු (ලීක්) වුවහොත් යථා තත්ත්වයට පත් කර ගැනීම කාලයක් ගත වන ක්‍රියාවලියක් වන හෙයින් නිරුවත් අන්තර්ගතයන් (රූප, වීඩියෝ ආදිය) අන්තර්ජාලයේ හුවමාරු (ශෙයා) කර ගැනීම හෝ ඔන්ලයින් සමීප සරාගී භූමිකාවන් රඟ දැක්වීම නිර්දේශ නොකෙරේ.
  • ඔබ සයිබර් අවකාශයේ මෙවැනි වංචාවන්ට හසු වුවහොත් බිය වෙන්න එපා, ඔබ ගැනම කලකිරීමක් හෝ වරදකාරී හැඟීමක් ඇති කර ගන්න එපා, මන්ද වංචනිකයින්ගේ රැකියාව විවිධ කූඨ උපක්‍රම භාවිත කරමින් අහිංසක මිනිසුන් රවටා මුදල් ඉපයීමයි. ඔවුන්ට මුදල් ගෙවන්න එපා.
  • ෆේස්බුක් / වට්ස්ඇප් හි ප්‍රජා මාර්ගෝපදේශ උල්ලංඝනය කරන මෙවැනි ආකාරයේ වංචනික ක්‍රියා ගැන ස්පෑම් / ස්කෑම් හේතුව යටතේ වාර්තා කරන්න. ඔබ පෙනී සිටින අන්තර්ගතය ඔබේ අවසරයකින් තොරව පළ කර ඇත්නම් වාර්තා (රිපෝට්) කරන්න; අවශ්‍ය නම් සහය සඳහා හිතවතී අමතන්න.
  • හිතවතීට පැමිණිලි කිරීමේදී සිද්ධියට අදාල සියලු විස්තර ලබා දීමෙන් ඔබේ ගැටලුවට සුදුසුම විසඳුම ලබා ගැනීමට පහසු වේ. ඔබේ පෞද්ගලික තොරතුරු ඔබේ අනුමැතිය රහිතව හිතවතී වෙනත් පාර්ශව වලට ලබා දෙන්නේ නැහැ.
  • සයිබර් අපරාධ සම්බන්ධව පැමිණිලි ඇත්නම් ඒ බව පැහැදිලිව අදාළ සාක්ෂි (ලින්ක්, ස්ක්‍රීන්ෂොට් ආදිය) සහිතව සඳහන් කර CID එකට ගොස් භාර දිය හැක. නැතහොත් ලියාපදිංචි තැපෑලෙන් “අධ්‍යක්ෂ, අපරාධ විමර්ෂණ දෙපාර්තමේන්තුව, කොළඹ 01” යන ලිපිනයට හෝ ඊමේල් හරහා dir.cid@police.lk වෙත පැමිණිල්ල යොමු කළ හැක.